TasWater ආයතනය විසින් ජල සහ අපජල සේවා සඳහා පනවා ඇති ස්ථාවර ගාස්තු නොසිතූ ලෙස ඉහළ නැංවීම හේතුවෙන් Tasmania හි ව්‍යාපාරිකයින් සහ ප්‍රජා ක්‍රීඩා සමාජ දැඩි අසීරුතාවයට පත්ව තිබෙනවා.

සමහර ව්‍යාපාරවල මාසික අපජල ගාස්තුව 500% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ස්වේච්ඡාවෙන් පවත්වාගෙන යන දේශීය ක්‍රීඩා සමාජවලටද ඩොලර් සිය ගණනක අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පවතින පැරණි ජලාපවහන පද්ධති යාවත්කාලීන කිරීම සඳහා මෙම ගාස්තු සංශෝධනය සිදු කළ බව TasWater ආයතනය පවසන නමුත්, පූර්ව දැනුම්දීමකින් තොරව සිදුකළ මෙම අසාධාරණ මිළ ඉහළ දැමීම හමුවේ බොහෝ දෙනා සිය අප්‍රසාදය පළ කර සිටිනවා.

මතුව ඇති තත්ත්වය හමුවේ අදහස් දක්වමින් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය Jeremy Rockliff සඳහන් කළේ, මෙම ගාස්තු ඉහළ දැමීම ව්‍යාපාර සහ ප්‍රජා කණ්ඩායම්වලට දැඩි ලෙස බලපා ඇති බැවින්, අදාළ ගාස්තු ඉහළ නැංවීම වහාම අත්හිටුවීමට පියවර ගන්නා ලෙස TasWater ආයතනයෙන් සහ ප්‍රාදේශීය සභාවලින් ඉල්ලා සිටින බවයි.