මාධ්‍ය ආයතන සමඟ ගිවිසුම්වලට එළඹීමට අපොහොසත් වන ප්‍රමුඛ පෙළේ ප්‍රධාන තාක්ෂණික සමාගම් වෙත වැඩි බදු මුදලක් පැනවීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.

නව යෝජනාවලට අනුව, Google, Meta සහ TikTok වැනි ප්‍රධාන පෙළේ Tech සමාගම්, මාධ්‍ය ආයතනවල තොරතුරු සහ පුවත් තම Platform හරහා භාවිත කිරීම වෙනුවෙන් එම මාධ්‍ය ආයතන සමඟ වාණිජ ගිවිසුම්වලට එළඹිය යුතුයි.

දේශීය ආදායම ඩොලර් මිලියන 250ක්  ඉක්මවන සමාගම් සඳහා මෙම බද්ද බලපැවැත්වෙන අතර, අදාළ සමාගම් මාධ්‍ය ආයතන සමඟ අවම වශයෙන් ගිවිසුම් 6කටවත් එළඹිය යුතු බවට කොන්දේසි පනවා තිබෙනවා. එසේ නොවන අවස්ථාවලදී ඔවුන් ගෙවිය යුතු උපරිම බදු ප්‍රතිශතය 2.5% දක්වා ඉහළ නංවා ඇති බවයි රජය නිවේදනය කළේ.

ඕස්ට්‍රේලියානු සහකාර භාණ්ඩාගාරික Daniel Mulino සඳහන් කළේ, නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් උදෙසා මාධ්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය අත්‍යවශ්‍ය බැවින්, මෙම සමාගම් විවිධ මට්ටමේ මාධ්‍ය ආයතන සමඟ වෙළඳ ගිවිසුම්වලට එළඹෙනු ඇතැයි රජය බලාපොරොත්තු වන බවයි.