NSW හි Hunter Valley හි පිහිටි Tomago ඇලුමිනියම් කර්මාන්ත ශාලාව බේරාගැනීම සඳහා වන විශේෂ සහන සැලසුම් ගිවිසුමකට අගමැති Anthony Albanese සහ NSW අගමැති Chris Minns අත්සන් කිරීමට සූදානම් වන බව වාර්තා වෙනවා.

Rio Tinto සමාගමට අයත් මෙම මධ්‍යස්ථානය වෙනුවෙන් සූදානම් කර ඇති මෙම ගිවිසුම මගින්, එහි සේවකයින් 1000 කගේ පමණ රැකියා සුරක්ෂිත වනු ඇති. NSW හි සමස්ත විදුලි පරිභෝජනයෙන් 10% ත් 12% ත් අතර ප්‍රමාණයක් භාවිත කරන මෙම මධ්‍යස්ථානයට, 2028 න් පසුවත් අඩු පිරිවැයකින් බලශක්තිය ලබාදීම සඳහා රජය සහන ලබාදීමට නියමිතයි.

ඕස්ට්‍රේලියාවේ ඇලුමිනියම් නිපදවීම නතර වුවහොත් එය අනෙකුත් කර්මාන්ත රැසකටද දැඩි ලෙස බලපාන බවයි Anthony Albanese පවසන්නේ. මෙහි ඉදිරි කටයුතු වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ වසරකට ඩොලර් මිලියන 300 කට වැඩි මුදලක් සහන ලෙස ලබාදීමට යෝජනා වී තිබෙනවා.