ඕස්ට්‍රේලියාවේ Triple Zero (000) හදිසි ඇමතුම් සේවාවේ පාලනය Telstra ඇතුළු ප්‍රධාන දුරකථන සමාගම්වලින් ඉවත් කර රජයට පවරාගත යුතු බවට ඕස්ට්‍රේලියානු සෙනෙට් පරීක්ෂණ කමිටුව නිර්දේශ කර තිබෙනවා. පසුගිය වසරේ Optus ජාලයේ ඇති වූ බිඳවැටීම නිසා හදිසි ඇමතුම් ලබා ගැනීමට නොහැකි වී පුද්ගලයින් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය මුල් කරගනිමින් මෙම පරීක්ෂණය ආරම්භ කෙරුණා.

ඉදිරිපත් කළ වාර්තාවට අනුව, Emergency Call Person මෙහෙයුම් කටයුතු අලුතින් පිහිටුවන රාජ්‍ය අධිකාරියකට පැවරීම, යම් ජාලයක් අක්‍රිය වූ විට වෙනත් ඕනෑම ජාලයක් භාවිත කිරීමට Domestic Roaming අනිවාර්ය කිරීම, Triple Zero වෙත Text පණිවිඩ යැවීමට පහසුකම් සැලසීම සහ ජාල බිඳවැටීම්වලදී පාරිභෝගිකයින්ට ස්වයංක්‍රීයව වන්දි ගෙවීම ප්‍රධාන නිර්දේශ අතර වෙනවා.

කමිටු සභාපති Greens සෙනෙට් සභික Sarah Hanson-Young සඳහන් කළේ Triple Zero යනු ජනතාවගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් බැවින් එය පෞද්ගලික සමාගම් අත තැබිය නොහැකි බවයි. කෙසේ වෙතත් Domestic Roaming සම්බන්ධයෙන් Labor පක්ෂයේ සෙනෙට් සභිකයන් ඇතැම් කරුණු මතු කර ඇති අතර ACCC ආයතනයද ඒ ගැන පරීක්ෂණ පවත්වනවා. මේ අතර ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කරන්නේ පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීමට සහ නීති උල්ලංඝනය කරන සමාගම් සඳහා ඩොලර් මිලියන 30 දක්වා දඩ ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවයි.