මාරාන්තික H5 කුරුළු උණ වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙන තවත් සංක්‍රමණික පක්ෂියෙකු Victoria වලින් සොයාගෙන තිබෙනවා. ඒ, එම ප්‍රාන්ත‌යෙන් පළමු තහවුරු කළ වෛරස් ආසාදිතයා වාර්තා වී පැය 24 ක් යන්නට මත්තෙන්.

බ්‍රහස්පතින්දා දින South-West වෙරළ තීරයෙන් පළමු රෝගියා හඳුනාගැනීමෙන් පසුව, Victoria බලධාරීන් මේ වන විට Greater Crested Tern පක්ෂියෙකු කෙරෙහි අවධානය යොමු කරමින් පරීක්ෂණ පවත්වනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ Geelong හි පිහිටි බලධාරීන් විසින් සිදු කරමින් පවතින බව සඳහන්.

Victoria හි ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී Dr Graeme Cook පැවසුවේ, මෙලෙස නව සැක සහිත රෝගියෙකු හමුවීමෙන් අසනීප වූ හෝ මියගිය වනසතුන් පිළිබඳ තොරතුරු කඩිනමින් බලධාරීන්ට වාර්තා කිරීමේ තීරණාත්මක වැදගත්කම යළිත් අවධාරණය වන බවයි.

"අපි H5 කුරුළු උණ පැමිණීමේ අවදානම ගැන කලින් ඉඳන්ම සූදානමින් හිටියේ. දැන් ඒ සැලසුම් භාවිත කරලා ප්‍රාන්තය පුරාම නිරීක්ෂණ, පරීක්ෂණ සහ ප්‍රතිචාර දැක්වීමේ කටයුතු වේගවත් කරලා තියෙනවා," යනුවෙන් Dr Cook වැඩිදුරටත් ප්‍රකාශ කළා.

"අපි Victoria වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ අසනීප වූ හෝ මියගිය වනසතුන් ඇල්ලීමෙන් වළකින්න කියලා. ඔබ දකින දේ සටහන් කරගෙන ඒ ගැන බලධාරීන්ට දැනුම් දෙන්න. මුල් අවස්ථාවේදීම වාර්තා කිරීමෙන් මේ රෝගයේ බලපෑම අවම කරගන්න අපිට ලොකු පිටුවහලක් ලැබෙනවා."

කෙසේ වෙතත්, කුකුළන් හෝ වෙනත් පශු සම්පත් අතර මෙම මාරාන්තික වෛරසය පැතිරී ඇති බවට හෝ ඕස්ට්‍රේලියාවේ කිසිදු ස්ථානයකින් සතුන් සමූහ වශයෙන් මියයාමේ සලකුණු මෙතෙක් වාර්තා වී නැහැ.

නමුත් බලධාරීන් බදාදා ප්‍රකාශ කළේ South Australia හි පක්ෂීන් අතර මෙම H5 කුරුළු උණ වෛරසය ව්‍යාප්ත වන බවට විශ්වාස කරන බවයි. මෙය ජනප්‍රිය සංචාරක ස්ථානයක් මෙන්ම තර්ජනයට ලක්ව ඇති Sea Lions ගහනයක් වෙසෙන ප්‍රදේශයටද විශාල බියක් මතු කර තිබෙනවා.

South Australia හි Primary Industries Minister වන Clare Scriven තහවුරු කළේ, ප්‍රාන්තයේ Greater Crested Tern පක්ෂීන් අතර H5 කුරුළු උණ වැළඳී ඇති බවට සැක සහිත පක්ෂීන් 11 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. මෙයින් සැක සහිත පක්ෂීන් 7 දෙනෙකු ප්‍රාන්තයේ South-East ප්‍රදේශයෙන්ද, තවත් 4 දෙනෙකු Kangaroo Island වෙතින්ද සොයාගෙන තිබෙනවා.

මියගිය හෝ අසනීප වූ පක්ෂීන් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසත්, පවතින තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු දැනගැනීම සඳහා birdflu.gov.au වෙබ් අඩවිය වෙත පිවිසෙන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.