Victoria හි Western Highway හිදී පාරේ තිබූ වළක ගැටීමෙන් සිදු වූ අනතුරකින් 71 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද දහවල් 12:50 ට පමණ Trawalla ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර, පාරේ තිබූ වළක ගැටීමෙන් පාලනය කරගත නොහැකි වූ යතුරුපැදිය පෙරළී යාමෙන් Ballarat හි පදිංචිකරුවෙකු වූ මෙම යතුරුපැදිකරු ස්ථානයේදීම මියගිය බවයි Victoria පොලීසිය සඳහන් කළේ. අනතුරත් සමඟ Windermere සහ Beaufort අතර Western Freeway හි බටහිර දෙසට වන සියලුම මංතීරු වසා දැමීමට පියවර ගැනුණා.
Victoria හි මාර්ග පද්ධතියෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් දැඩි ලෙස අලුත්වැඩියා කළ යුතු මට්ටමේ පවතින බවට අගණකාධිපති වාර්තාවක් නිකුත් වී දින කිහිපයක් ඇතුළත මෙම අනතුර සිදුවීම විශේෂත්වයක්. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, අනතුරට අදාළ dashcam දර්ශන පවතින්නේ නම් Crime Stoppers වෙත ලබාදෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



