Victoria ප්‍රාන්තයේ සේවකයන්ට සතියකට අවම වශයෙන් දින දෙකක් නිවසේ සිට රාජකාරි කිරීමට හිමිකම් කියන අලුත් Work From Home පනත වහාම හකුලා ගන්නා ලෙස මෙරට ප්‍රධාන ව්‍යාපාරික සංවිධාන එකමුතුව ප්‍රාන්ත අගමැති Ben Carroll ගෙන් ඉල්ලා සිටිනවා.

ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැඩි විරෝධය හමුවේ, අද Victoria ප්‍රාන්තයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේදී විවාදයට ගැනීමට නියමිතව තිබූ මෙම පනත තාවකාලිකව අත්හිටුවීමට ප්‍රාන්ත අගමැති Ben Carroll ඊයේ පස්වරුවේ පියවර ගත්තා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන Victorian Congress of Employer Associations හි Tim Piper සහ Victorian Chamber of Commerce and Industry හි Sally Curtin සඳහන් කරන්නේ, මෙම පනත නිසා ප්‍රාන්තයේ රැකියා විශාල සංඛ්‍යාවක් අහිමි වී ව්‍යාපාරික ආයෝජන වෙනත් ප්‍රාන්ත වෙත ඇදී යාමේ දැඩි අවදානමක් මතු වී ඇති බවයි.

Australian Retail Council, Property Council සහ Business Council of Australia ඇතුළු වෙළඳ සහ ව්‍යාපාරික සංවිධාන රැසක් පෙන්වා දෙන්නේ මේ වන විටත් ආයතන රැසක් සේවකයන්ට පහසු පරිදි නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව දී ඇති බැවින්, මෙවැනි අලුත් නීති රීති පැනවීමෙන් සිදුවන්නේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට සහ ප්‍රාන්තයේ ආර්ථිකයට තවත් බරක් පැටවීම පමණක් බවයි.

එබැවින් මෙම සංශෝධනවලට කිසිසේත්ම එකඟ විය නොහැකි බවත්, අදාළ පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවත් ව්‍යාපාරික නායකයන් රජයට අවධාරණය කරනවා.