ඕස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ සිදු වූ පොරොවකින් එල්ල කල ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා සොයා පැය 20 කට වැඩි කාලයක සිට පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ Victoria ප්‍රාන්තයේ Gippsland කලාපයේ Traralgon හි North පිහිටි Tyers ප්‍රදේශයේ නිවසකින්.

පහරදීමෙන් බරපතල තුවාල ලැබූවන් අතර වයෝවෘද්ධ කාන්තාවක්, වයෝවෘද්ධ පිරිමි පුද්ගලයෙක් සහ තවත් පිරිමි පුද්ගලයෙකු වන බව සඳහන්. සැකකරු පලාගිය පසු, තුවාලකරුවන් විසින්ම හදිසි ඇමතුම් අංශ වෙත දැනුම් දී තිබෙනවා.

පසුව ගුවන් මගින් Melbourne හි The Alfred Hospital වෙත ඇතුළත් කළ ඔවුන්ගේ තත්ත්වය තවමත් බරපතල බවයි වාර්තා වන්නේ.

සැකකරු වයස අවුරුදු 50 ක පමණ පසුවන, තුවාලකරුවන් හඳුනන අයෙක්. ඔහු සතුව තවමත් පොරොවක් සහ අත් කියතක් (handsaw) තිබිය හැකි බැවින්, ඔහු අසලට නොයන ලෙසත්, දක්නට ලැබුණහොත් වහාම 000 අංකයට අමතන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.