Victoria ප්‍රාන්තයේ මාර්ගවල පවතින වළවල් පිළිසකර කිරීමේ වැඩසටහන මෙම වසර තුළ දෙගුණයකින් වැඩි කිරීමට ප්‍රාන්ත අගමැති Ben Carroll ප්‍රමුඛ රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, මීට පෙර ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර තිබූ වළවල් 250,000 ක සංඛ්‍යාව ජනවාරි මාසය අවසන් වන විට 500,000 දක්වා ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ. මාර්ග නඩත්තුව සඳහා වෙන් කර ඇති ඩොලර් බිලියනයකට අධික මුදලට අමතරව මේ සඳහා ඩොලර් මිලියන 352 ක පිරිවැයක් වැය වෙතැයි අපේක්ෂා කෙරෙනවා.
විශේෂයෙන්ම Regional Victoria ප්‍රදේශවාසීන් නගන චෝදනා හමුවේ මෙම මාර්ග ගැටලුව ඉදිරි මැතිවරණයේදී ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. ඉඩෝර කාලය අවසන් වීමත් සමග ඉදිරි සති කිහිපය තුළ ආරම්භ වන මෙම පිළිසකර කිරීමේ කටයුතු Geelong Ring Road, Western Highway, Calder Highway, Princes Highway ඇතුළු ප්‍රධාන මාර්ග සහ ප්‍රාදේශීය මාර්ග ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අතිරේක මුදල් සපයා ගැනීම වෙනුවෙන් Highett මාර්ගය, Wickham මාර්ගය සහ Latrobe වීදිය යන ප්‍රදේශවල දුම්රිය හරස් මාර්ග ඉවත් කිරීමේ ව්‍යාපෘති 3 ක් නිම කිරීම වසරකින් කල් දැමීමටද වික්ටෝරියා රජය තීරණය කර තිබෙනවා.



