නීති විරෝධී දුම්කොළ නිෂ්පාදන අලෙවි කරන වෙළඳසැල් අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට බලධාරීන්ට බලතල හිමිවන නව නීති Victoria ප්‍රාන්තයේ බලාත්මක කර තිබෙනවා.

ඒ අනුව, Tobacco Licensing Victoria ආයතනයේ පරීක්ෂකවරුන්ට මෙන්ම Victoria පොලිස් නිලධාරීන්ට ද මෙලෙස නීති විරෝධී ලෙස දුම්කොළ අලෙවි කරන ස්ථාන සඳහා දින 90 ක කාලයකට වසා දැමීමේ නියෝග නිකුත් කිරීමේ හැකියාව පවතිනවා. එමෙන්ම, මහේස්ත්‍රාත් අධිකරණය හරහා දීර්ඝ කාලීනව හෝ ස්ථිරවම මෙම වෙළඳසැල් වසා දැමීමට ද පියවර ගැනෙනු ඇති.

මෙලෙස වසා දැමීමේ නියෝග උල්ලංඝනය කරමින් පවත්වාගෙන යන ස්ථානවල අයිතිකරුවන්ට ඩොලර් මිලියන 2.5 දක්වා විශාල දඩ මුදල් සහ වසර 20 දක්වා සිරදඬුවම් නියම විය හැකි බවයි බලධාරීන් පවසන්නේ.

මේ අතර, නීති විරෝධී දුම්කොළ ජාවාරම පාලනය සඳහා දුම්වැටි මත පනවා ඇති බදු පහත හෙළිය යුතු බවට Coalition සහ One Nation පක්ෂ යෝජනා කළ ද, ප්‍රාන්ත අගමැති Ben Carroll සඳහන් කළේ Victoria රජය ඊට කිසිසේත්ම සහය නොදක්වන බවයි. බදු අඩු කිරීමෙන් සිදුවන්නේ කළු කඩ වෙළඳපොළ තවදුරටත් වර්ධනය වීම පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, සෞඛ්‍ය සංවිධාන පෙන්වා දෙන්නේ නීති විරෝධී vapes සහ nicotine pouches අලෙවි කරන ස්ථාන ද මෙලෙස වහාම වසා දැමීමට හැකි වන පරිදි ඉදිරියේදී නීති තවදුරටත් දැඩි විය යුතු බවයි.