Jacinta Allan මහත්මිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව, Victoria ප්‍රාන්තයේ නව ප්‍රාන්ත අගමැති Ben Carroll මහතා විසින් සිය නව කැබිනට් මණ්ඩලය නිවේදනය කිරීමට නියමිතව තිබෙනවා.
සඳුදා පැවැත්වෙන Labor පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නව කැබිනට් අමාත්‍යවරුන් තෝරා ගැනීමට නියමිත අතර, ඊට පෙර අමාත්‍ය තනතුරු ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරුන් අතර දැඩි තරඟකාරීත්වයක් නිර්මාණය වී ඇති බවයි වාර්තා වන්නේ.
Victoria ප්‍රාන්තයේ සිදු වූ මෙම නායකත්ව වෙනසත් සමග, හිටපු ප්‍රාන්ත අගමැති Jacinta Allan ගේ සමීපතමයන් වෙනුවට නව මුහුණු රැසක් කැබිනට් මණ්ඩලයට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
Jacinta Allan ගේ සමීපතමයන් වූ Harriet Shing සහ Lily D'Ambrosio යන මහත්මීන් තමන් අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වන බවත්, එළඹෙන නොවැම්බර් මැතිවරණයේදී පාර්ලිමේන්තුවෙන් ඉවත් වන බවත් පසුගිය බ්‍රහස්පතින්දා නිවේදනය කළා.
2014 වසරේ Daniel Andrews ගේ පළමු කැබිනට් මණ්ඩලයේ සිටි අවසන් අමාත්‍යවරිය වූ Lily D'Ambrosio මෙන්ම Jacinta Allan මහත්මිය ද Bracks-Brumby රජයේ සිටි අවසන් Labor පක්ෂ මන්ත්‍රීවරියන් වෙනවා. Jacinta Allan මහත්මිය Bendigo ආසනය සඳහා නැවත තරඟ කරන්නේද යන්න පිළිබඳව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැතත්, ඇය සක්‍රීය දේශපාලනයෙන් විශ්‍රාම ගනු ඇතැයි බහුලව විශ්වාස කෙරෙනවා.
මෙම ඉල්ලා අස්වීම් හේතුවෙන් Ben Carroll මහතාගේ කැබිනට් මණ්ඩලයේ පුරප්පාඩු තුනක් නිර්මාණය වී තිබෙනවා. මෙම ඉවත්වීම් තුනම සිදුවූයේ පක්ෂයේ බලගතු සමාජවාදී වාමාංශික කණ්ඩායමෙන්. මෙම කණ්ඩායම සඳුදා උදෑසන රැස්වී නව ආදේශකයන් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත අතර, එදින පස්වරුවේ Labor පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ පූර්ණ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
Labor පක්ෂ නීතිරීතිවලට අනුව front bench මන්ත්‍රීවරුන්ගෙන් අඩක් කාන්තාවන් විය යුතු අතර, මෙම ඉල්ලා අස්වීම්වලින් පසුව දැනට කැබිනට් මණ්ඩලයේ කාන්තාවන් 11 දෙනෙකු සහ පිරිමින් 8 දෙනෙකු සිටිනවා.
මෙම තත්ත්වය හමුවේ Ben Carroll මහතා විසින් කැබිනට් ප්‍රතිසංවිධානයක් සිදු කරමින් අමාත්‍ය ධුර බෙදා දීමට නියමිත අතර, එහිදී Jacinta Allan ගේ අමාත්‍ය ධුරය Mordialloc මන්ත්‍රී Tim Richardson හට හිමිවීම තහවුරු වී ඇති අතරම, Harriet Shing ගේ Upper House කැබිනට් ධුරය සඳහා South Metropolitan මන්ත්‍රී Ryan Batchelor ප්‍රධාන අපේක්ෂකයා ලෙස ඉදිරියෙන් සිටින පසුබිමක North Metropolitan මන්ත්‍රී Sheena Watt, North-Eastern Metropolitan මන්ත්‍රී Sonia Terpstra මෙන්ම Cranbourne මන්ත්‍රී Pauline Richards ද එම තනතුරු වෙනුවෙන් තරඟයට එක්ව සිටිති.
Ben Carroll මහතා නායකත්වයට තරඟ කිරීමට අදහස් ප්‍රකාශ කිරීමත්, පසුව Jacinta Allan මහත්මිය ඉල්ලා අස්වීමත් සමග Socialist Left කණ්ඩායම දෙකඩ වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, භාණ්ඩාගාර ලේකම් වන Chris Barrett මහතා අගමැති සහ කැබිනට් දෙපාර්තමේන්තුවෙහි නව ප්‍රධානියා ලෙස පත් කිරීමට Ben Carroll මහතා පියවර ගෙන තිබෙනවා. ඒ, 2020 නොවැම්බර් මාසයේ සිට Daniel Andrews යටතේ සේවය කළ Jeremy Moule වෙනුවටයි. Chris Barrett මහතාගේ ප්‍රධානතම කාර්යය වනුයේ Big Build ව්‍යාපෘතියේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් Royal Commission එකක් පිහිටුවීමයි.
කෙසේවෙතත්, Paul Edbrooke අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමන් දරන අමාත්‍යාංශ තනතුරුවල කිසිදු වෙනසක් අපේක්ෂා නොකරන බවයි.
මේ අතර Shadow Attorney-General වන James Newbury සඳහන් කළේ මෙම කැබිනට් සංශෝධනයෙන් රජයේ ක්‍රියාකලාපයේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි. "කවුරුන් කුමන අමාත්‍ය ධුරය දැරුවත් වැඩක් නැහැ. මොවුන්ගෙන් කිසිවෙකු රජයක සිටීමට සුදුසු නැති බව Victoria වැසියන් දන්නවා. එළඹෙන නොවැම්බර් මැතිවරණයේදී ජනතාව මේ රජයට එරෙහිව තීන්දුව ලබා දෙනු ඇතැයි මම සිතනවා," යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවා.



