Victoria ප්‍රාන්තයේ ගිනි නිවන භටයින්ගේ වෘත්තීය සමිතිය සමඟ පැවැති වැටුප් අර්බුදයේදී අමාත්‍යවරුන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් බරපතල ලෙස නීති සහ ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව Victoria ප්‍රාන්තයේ දූෂණ විරෝධී ආයතනය වන IBAC ආයතනය නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වෙනවා.

කෙසේ වෙතත්, වසර ගණනාවක් තිස්සේ සිදුකළ මෙම පරීක්ෂණයේදී කිසිදු දූෂණ ක්‍රියාවක් සිදුවී ඇති බවට සෘජුව තීන්දු කර නොමැති අතර, මෙවැනි ක්‍රියාකලාපයන් හරහා දූෂණයට ඇති ඉඩකඩ වැඩිවන බවට පමණක් IBAC ආයතනය අවධානය යොමු කර තිබෙනවා. අදාළ විෂය භාර අමාත්‍යවරයා හෝ දෙපාර්තමේන්තු දැනුවත් කිරීමකින් තොරව United Firefighters Union හි ලේකම් Peter Marshall සමඟ සාකච්ඡා කර ගිවිසුම්වලට එළඹීමට රජයේ ජ්‍යෙෂ්ඨයන් කටයුතු කර ඇති අතර, එමගින් Peter Marshall ට රජයට විශාල බලපෑමක් කිරීමට ඉඩ සැලසී ඇති බවයි මෙහි දැක්වෙන්නේ.

මෙම වාර්තාව පිළිබඳව අදහස් දක්වමින් UFU ලේකම් Peter Marshall සඳහන් කළේ, වසර 8ක් තිස්සේ ඩොලර් මිලියන 8ක මහජන මුදල් නාස්ති කරමින් සිදුකළ මෙම පරීක්ෂණයෙන් කිසිදු දූෂණයක් සොයාගැනීමට නොහැකි වූ බවයි. එමෙන්ම IBAC ආයතනයේ ක්‍රියාකලාපය පිළිබඳවද වෙනම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඔහු අභියෝග කර සිටිනවා.

මේ අතර, වාර්තාවෙන් හෙළිදරව් වී ඇති අයහපත් හැසිරීම් කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, IBAC වාර්තාවේ නිර්දේශ සියල්ල පිළිගෙන ඒ අනුව ඉදිරියට කටයුතු කරන බවත් Victoria ප්‍රාන්තයේ අගමැති Ben Carroll ප්‍රකාශ කළා. Country Fire Authority , firefighters union  සහ හිටපු අගමැති Daniel Andrews ගේ රජය අතර ඇතිවූ මෙම දීර්ඝ කාලීන වෘත්තීය සමිති අර්බුදය සම්බන්ධයෙන් IBAC පරීක්ෂණ ආරම්භ කළේ 2018 වසරේදීයි.