Victoria හි TAFE වෘත්තීය අධ්‍යාපන පද්ධතියට ලැබෙන ප්‍රතිපාදන අවම වීම හමුවේ එහි අධ්‍යාපන ගුණාත්මකභාවය දැඩි ලෙස පහත වැටෙමින් පවතින බවට චෝදනා එල්ල වනවා. ඕස්ට්‍රේලියානු අධ්‍යාපන සංගමය (AEU) මගින් සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ, ඕස්ට්‍රේලියාවේ අනෙක් ප්‍රාන්ත හා සැසඳීමේදී Victoria හි TAFE ආයතන සඳහා ලබාදෙන පැයක ප්‍රතිපාදන මුදල අවම මට්ටමක පවතින බවයි.

නොමිලේ වෘත්තීය අධ්‍යාපන වැඩසටහන හරහා සිසුන් ලියාපදිංචිය ඉහළ ගියද, ඊට සරිලන පරිදි පහසුකම් සහ සම්පත් නොලැබීම නිසා ගුරුවරුන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණපාන බව සේවා නියුක්තිකයන් පවසනවා. බොහෝ ගුරුවරුන්ට සතියකට පැය 7ක් පමණ අතිරේකව නොමිලේ සේවය කිරීමට සිදුව ඇති අතර, එමගින් සිසුන්ට ප්‍රායෝගික පුහුණුව ලබාදීමට ඇති කාලය සීමා වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් AEU Victorian සභාපති Justin Mullaly සඳහන් කළේ, මෙය ගුරුවරුන්ගේ වේතන සටනක් නොව සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමේ අරගලයක් බවයි. කෙසේ වෙතත්, Free TAFE හරහා විශාල පිරිසකට අධ්‍යාපන අවස්ථා හිමිවූ බව පවසන Victoria රජය, ඉදිරියටත් TAFE පද්ධතිය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කරනවා.