මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘Operation Aware’ විශේෂ මාර්ග ආරක්ෂණ මෙහෙයුමේදී නීති විරෝධී ලෙස රථවාහන ධාවනය කළ රියදුරන් 1,000කට වැඩි පිරිසකට දඩ නියම කිරීමට Victoria පොලිසිය පියවර ගෙන තිබෙනවා.

පසුගිය මැයි මාසයේ සිට ආරම්භ වූ මෙම මෙහෙයුම යටතේ මේ වන විට වරදකරුවන් වූ රියදුරන් 1,082 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, එයින් අඩකට ආසන්න ප්‍රමාණයක් අධික වේගයෙන් රථවාහන ධාවනය කළ අය වෙනවා. Melbourne CBD, Glen Eira, Stonnington, Monash, Whitehorse, Casey, Hume, Wyndham සහ Geelong යන වැඩි අවදානම් සහිත ප්‍රදේශ මුල් කරගනිමින් මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ වසරේදී Victorian මාර්ගවල පදිකයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් 85%ක්ම වාර්තා වී ඇත්තේ metropolitan ප්‍රදේශවලින්. විශේෂයෙන් පැයට කිලෝමීටර් 40ත් 60ත් අතර වේග සීමා සහිත ප්‍රදේශවලදී පදිකයන් වැඩි වශයෙන් අනතුරුවලට ලක්වන බව පොලිසිය පෙන්වා දෙනවා.

මෙම මෙහෙයුමේදී අධික වේගය, ජංගම දුරකථන භාවිතය,මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම ඇතුළු වැරදි රැසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.