එළඹෙන වියළි කාලගුණයට පෙර Regional Victoria හි ගොවීන් පසුගියදා ලැබුණු අධික වර්ෂාපතනය සතුටින් පිළිගෙන තිබෙනවා. පසුගිය සතියේ ප්‍රදේශ කිහිපයකට ලැබුණු 150mm දක්වා වූ තද වැසි හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇතිවූ අතර, Western Victoria හි ඇතැම් වගාවලට 15%ක පමණ හානියක් සිදු වුණා.

වැසි සහිත තත්ත්වය නිසා කුඹුරුවලට යන්ත්‍රසූත්‍ර ගෙන යාමට නොහැකි වීමෙන්, පලිබෝධනාශක ඉසීම සඳහා ඩ්‍රෝන සහ හෙලිකොප්ටර් භාවිත කිරීමටයි ගොවීන් පෙළඹී සිටින්නේ. එය සාමාන්‍ය වියදම මෙන් දෙගුණයකටත් වඩා වැඩි වුවද, ඉදිරියට එන El Niño වියළි කාලගුණ තත්ත්වයට මුහුණ දීමට මෙමගින් පසට ලැබුණු තෙතමනය විශාල පිටුවහලක් වන බව ගොවීන් පවසනවා.

Prairie, Werrimull සහ Lima East ඇතුළු ප්‍රදේශ රැසක ජලාශ පිරී ඉතිරී ගොස් ඇති අතර, අධික වැසි නිසා ඇතිවූ තාවකාලික අපහසුතාවලට වඩා ඉදිරි වගා කටයුතු සඳහා මෙම වැසි ඉතා වාසිදායක වන බවයි ප්‍රදේශයේ ගොවීන් සහ කෘෂිකාර්මික උපදේශකයන් සඳහන් කරන්නේ.