Victoria හි අධිකරණ පද්ධතියේ දැවැන්ත සංශෝධනයක් සිදු කිරීමට Coalition සන්ධානය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව, අපරාධකරුවන්ට දැඩි දඬුවම් පැමිණවීම සඳහා "Court of Criminal Appeal" නමින් නව අපරාධ අභියාචනාධිකරණයක් පිහිටුවීමට විපක්ෂ නායිකා Jess Wilson යෝජනා කරනවා.

වික්ටෝරියානු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගන්නා බවයි ඇය සඳහන් කළේ. වත්මන් Labor ආණ්ඩුව යටතේ ප්‍රාන්තයේ නීතිය සහ සාමය බිඳ වැටී ඇති බවත්, බරපතල අපරාධකරුවන්ට සැහැල්ලු දඬුවම් සහ ඇප ලැබීම සම්බන්ධයෙන් ජනතාව කලකිරීමට පත්ව සිටින බවත් ඇය පෙන්වා දුන්නා.

මෙම නව සැලසුම යටතේ දැනට පවතින අභියාචනාධිකරණය සිවිල් සහ අපරාධ වශයෙන් කොටස් දෙකකට වෙන් කෙරෙනවා. එමගින් අපරාධ නීතිය පිළිබඳ විශේෂඥ විනිසුරුවරුන් පත් කිරීමටත්, සමාජයේ බලාපොරොත්තුවලට ගැලපෙන පරිදි දැඩි දඬුවම් නියම කිරීමටත් හැකිවන බවයි විපක්ෂය පවසන්නේ.

මීට අමතරව, අපරාධ සම්බන්ධයෙන් ලබාදෙන ලිහිල් දඬුවම්වලට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට පවතින ඉඩකඩ වැඩි කිරීමටද යෝජනා වී තිබෙනවා. පසුගිය වසරේ දත්තවලට අනුව අභියාචනාධිකරණය හමුවට පැමිණි අපරාධ නඩුවලින් වසරක් ඇතුළත අවසන් කිරීමට හැකිව ඇත්තේ 56% ක් වැනි අඩු ප්‍රතිශතයක් පමණයි.