North-East Victoria ප්‍රදේශයේ මාර්ගවල ඇති විශාල වලවල් හේතුවෙන් සිදුවන රථවාහන අනතුරු වැළැක්වීම සඳහා, ස්වේච්ඡාවෙන් එම වලවල් වටා  fluorescent paintwork තවරන පුද්ගලයෙකුට සහාය දැක්වීමට ප්‍රදේශවාසීන් ඉදිරිපත් වී තිබෙනවා.

Steve Panozzo නමැති මෙම පුද්ගලයා පසුගිය වසර 3 පුරාම තමන්ගේම මුදලින් සායම් ලබාගනිමින් මෙලෙස Wodonga ඇතුළු ප්‍රදේශ රැසක පවතින මාර්ග බාධක සහ වලවල් සලකුණු කර ඇති අතර, ඒ සඳහා මේ වන විට ඩොලර් 2,700 කට වැඩි මුදලක් ජනතාව විසින් අරමුදල් ලෙස ලබාදී තිබෙනවා. මාර්ග නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවීම නිසා බරපතල අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

2025/2026 මූල්‍ය වර්ෂය තුළ Victorian ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් මාර්ග වලවල් 2,52,000 කට වැඩි සංඛ්‍යාවක් අලුත්වැඩියා කර ඇති අතර, ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් මාර්ග නඩත්තුව සඳහා රජය සහ විපක්ෂය ඩොලර් බිලියන ගණනක ප්‍රතිඥා ලබාදී තිබෙනවා. කෙසේ වෙතත්, වර්ෂාවත් සමඟ මෙම වලවල් නැවත නැවතත් මතු වන බැවින් පවතින වැඩපිළිවෙල විධිමත් නොවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

එමෙන්ම මාර්ගවල ඇති වලවල් නිසා තම රථවාහනවලට සිදුවන හානි සඳහා කිසිදු වන්දියක් නොලැබෙන බවටද මෝටර් රථ හිමියන් පෙන්වා දෙනවා.