දරුණු ලෙස රෝගාතුර වූ පුද්ගලයෙකුට නීතිවිරෝධී ඖෂධ ලබාදුන් බවට චෝදනා එල්ල වූ Melbourne හි Bayside ප්‍රදේශයේ පදිංචි තවත් ව්‍යාජ වෛද්‍යවරයෙකුට සෞඛ්‍ය සේවා සැපයීම තහනම් කිරීමට Victoria හි සෞඛ්‍ය නියාමන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

මෙලෙස තහනමට ලක්ව ඇත්තේ Maher Aboudargham නමැති අයෙක්. Health Complaints Commission ආයතනය මගින් නිකුත් කළ මෙම තාවකාලික තහනම් නියෝගය අනුව ඔහුට ඉදිරි සති 12 ක කාලය තුළ Victoria ප්‍රදේශයේ කිසිදු සෞඛ්‍ය සේවාවක් සැපයීම තහනම් වන අතර, ඔහු සම්බන්ධයෙන් මහජනතාවට අවවාදාත්මක නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා. ඊයේ දිනයේදී මොහුගේ සහයකයා වන Ms Assma Samadi නමැත්තියටද මෙම තහනමම පනවනු ලැබුවා.

Brighton East ප්‍රදේශයේදී වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් වසර මුල සිට මේ දක්වා $20,000 කට අධික මුදලක් අය කරමින් නීතිවිරෝධී ලෙස ස්ටෙරොයිඩ් අලෙවි කිරීම සහ වැරදි ලෙස ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් Victoria පොලීසිය මගින් පසුගිය මාසයේදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

දීර්ඝ කාලීන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින්ට ප්‍රතිකාර ලෙස එන්නත් ලබාදී ඇති අතර, ඒවාහි විටමින් සහ ප්‍රෝටීන් පවුඩර් වැනි සාමාන්‍ය ද්‍රව්‍ය අඩංගු වී තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී Brighton East සහ Caulfield North හි පිහිටි ස්ථාන පරික්ෂා කිරීමේදී කොකේන්, ස්ටෙරොයිඩ් සහ වේදනානාශක ඖෂධ තොගයක්ද සොයාගැනීමට පොලීසිය සමත් වුණා.

සෞඛ්‍ය පැමිණිලි කොමසාරිස් Bernice Redly මහත්මිය පවසා සිටියේ, ජනතාවගේ සෞඛ්‍යයට සහ ආරක්ෂාවට තර්ජනයක් වන මෙවැනි පුද්ගලයින්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි.

ඇප මත මුදාහැර සිටින සැකකරු සහ සැකකාරිය ලබන ඔක්තෝබර් මාසයේදී අධිකරණය හමුවට පැමිණවීමට නියමිතයි.