Victoria ප්‍රාන්තයේ නිවාස ආශ්‍රිත මාර්ගවල නවතා ඇති රථවාහනවල අංක තහඩු සොරාගැනීමේ සිදුවීම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව Crime Statistics Agency හි නවතම දත්ත මගින් අනාවරණය වී තිබෙනවා. මෙලෙස වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ Dandenong, Preston, Reservoir, St Albans සහ Craigieburn යන ප්‍රදේශවලටයි.
පසුගිය මාර්තු මාසයෙන් අවසන් වූ වසර තුළ Victoria ප්‍රාන්තයෙන් වාර්තා වූ අංක තහඩු සොරාගැනීම් 32,614 න් 14,431 ක්ම නිවාස ආශ්‍රිත මාර්ගවල නවතා කර තිබූ රථවාහනවලින් සිදුකර ඇති බව සඳහන්.
මෙහිදී වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ Dandenong ප්‍රදේශයට වන අතර, එහිදී වාර්තා වූ සිදුවීම් ගණන 310 ක්. ඊට අමතරව:
Preston: සිදුවීම් 213
Reservoir: සිදුවීම් 197
St Albans: සිදුවීම් 170
Craigieburn: සිදුවීම් 170
මෙම අපරාධ නතර කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් සොරකම් බහුලව සිදුවන Hotspots අවට විශේෂ නිරීක්ෂණ සහ මුර සංචාර දැනටමත් සක්‍රීය කර තිබෙනවා. පොලීසිය මගින් හඳුනාගත් ප්‍රධාන Hotspots මෙසේයි:
Dandenong: Windale street, Langhorne street, Bennet street සහ David street
Preston: Bell street, Patterson street, High street, Gower street සහ David street
Reservoir: North road, Barry street සහ Rathcown road
St Albans: Main Road, Thorndon drive සහ William street
Craigieburn: Yellowbox drive සහ Lawn court
රථවාහනවලින් බහුලවම සොරාගනු ලබන්නේ අංක තහඩු වන අතර, සොරකම්, Ram raids, ඉන්ධන ලබාගෙන මුදල් නොගෙවා පලායාම (Petrol drive offs) සහ පොලිස් අත්අඩංගුවට පත්වීම වැළැක්වීම වැනි වෙනත් බරපතල අපරාධ සඳහා වාහනයේ අනන්‍යතාවය සැඟවීමට සැකකරුවන් මෙම අංක තහඩු බහුලව භාවිත කරන බවයි පොලීසිය පවසන්නේ.
මෙම සොරකම්වලින් ආරක්ෂා වීම සඳහා හැකි සෑම විටම තම රථවාහන මාර්ගවල ගාල් නොකර Garage එකක් තුළ ගාල් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම Hardware stores, Automotive parts stores සහ Petrol stations මගින් ලබාගත හැකි Anti-theft screws භාවිත කර අංක තහඩු සවිකිරීමෙන් මෙම සොරකම් වැළැක්විය හැකියි. මෙම විශේෂ Screws ඉවත් කිරීම අතිශය අපහසු වන අතර, ඒවා බලහත්කාරයෙන් ඉවත් කිරීමට උත්සාහ කළද අංක තහඩුවට හානි සිදු වී එය භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්වන බවයි පොලීසිය පෙන්වා දෙන්නේ.
තම නිවසේ සිටින අවස්ථාවලදී පවා වාහනය සෑම විටම Lock කර තැබීමට වගබලා ගැනීම අත්‍යවශ්‍යයි.
පොලීසිය විසින් Automatic Numberplate Recognition Technology (ANPR) භාවිත කරමින් සිදුකරන විශේෂ මෙහෙයුම් හරහා මෙලෙස සොරාගත් අංක තහඩු අත්අඩංගුවට ගැනීම අඛණ්ඩව සිදුකෙරෙනවා. ANPR තාක්ෂණය මගින් හොර අංක තහඩු සහ සොරාගත් අංක තහඩු සහිත වාහන ක්ෂණිකව හඳුනාගැනීමට පොලීසියට හැකියාව පවතිනවා.
එමෙන්ම ප්‍රාන්තය පුරා Safe Plate Day වැඩසටහන් පවත්වමින් මහජනතාවට නොමිලේ Anti-theft screws සවිකර දීමේ සේවාවක්ද පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබනවා. ඉදිරියේදී පැවැත්වෙන Safe Plate Day පිළිබඳ විස්තර Safe Plate events – Neighbourhood Watch Victoria වෙබ් අඩවියෙන් හෝ ඔබගේ ප්‍රදේශයේ Eyewatch Facebook පිටුව මගින් ලබාගත හැකියි.
ඔබත් අංක තහඩු සොරකමකට ලක්වී ඇත්නම් පොලිස් සහය ඇමතුම් අංශයේ 131 444 අංකය අමතන ලෙස වික්ටෝරියානු පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ පිලිබදව North West Metro Region Commander ජැකී ක්ලයින් මෙලෙස අදහස් දක්වා සිටියා:
"අපරාධ සිදුකිරීමේදී පොලිස් නිරීක්ෂණයෙන් මිදීම සඳහා අංක තහඩු සොරාගැනීමේ ප්‍රවණතාවක් අප දකිනවා. වැඩි වශයෙන් මෙම සොරකම් සිදුවන්නේ නිවාස ආශ්‍රිත මාර්ගවල ගාල් කර ඇති වාහනවලිනුයි - Dandenong, Preston, Reservoir, St Albans සහ Craigieburn යනු මෙයින් වැඩිම බලපෑමට ලක්වූ ප්‍රදේශයි."
"මේ සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය දැඩි ලෙස ක්‍රියා කරමින් සිටිනවා. නමුත් මහජනතාවද තම වාහනවල අංක තහඩු ආරක්ෂා කරගැනීමට පූර්ව ආරක්ෂිත පියවර ගැනීම අත්‍යවශ්‍යයි."
"Garage එකක් වැනි ආරක්ෂිත ස්ථානයක වාහනය ගාල් කිරීම වඩාත් සුදුසු වුවත්, සෑම දෙනාටම එම පහසුකම නොමැති බව අප වටහා ගන්නවා. එම නිසයි Anti-theft screws භාවිත කරන ලෙස අප උපදෙස් දෙන්නේ. එවැනි සරල පියවරක් අනුගමනය කිරීම මගින් ඔබේ අංක තහඩුව සොරකම් කිරීමෙන් වළක්වා ගැනීමට ලොකු වෙනසක් සිදුකළ හැකියි."
"සොරාගත් අංක තහඩු භාවිත කරමින් තම වාහන සැඟවීමට උත්සාහ කරන පුද්ගලයන් දෙපාරක් සිතා බැලිය යුතුයි. පාරවල්වල ඇති එවැනි අංක තහඩු හඳුනාගැනීමට පොලීසිය සතුව දැන් ඉහළ තාක්ෂණික හැකියාවන් තිබෙනවා - ඒ නිසා අපරාධකරුවන්ට අනිවාර්යයෙන්ම නීතියේ රැහැනට හසුවීමට සිදුවනු ඇති."



