Western Sydney හි රථගාලකදී ගිනි අවි දෙකක්, පිහි සහ මුහුණ ආවරණය කරන ආවරණයක් සමඟ 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන චෝදනා ගොනුකර තිබෙනවා.
'Strike Force Puma' හි නිලධාරීන් සිකුරාදා රාත්‍රී 9.30 ට පමණ Villawood ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී, Woodville Road අසල පිහිටි රථගාලකදී 'ute' වර්ගයේ වාහනයක් අනතුරුදායක ලෙස ධාවනය කරනු දැක තිබෙනවා. එම අවස්ථාවේදීම වාහනය පැදවූ තරුණයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගත්තා.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම තරුණයාට ලබන වසරේ ජූලි මාසය දක්වා රිය පැදවීම තහනම් කර ඇති බවයි. එමෙන්ම අදාළ වාහනයේ සවිකර තිබූ අංක තහඩු වෙනත් වාහනයකට අයත් ඒවා බවද හෙළි වී තිබෙනවා.
තරුණයා සහ වාහනය පරීක්ෂා කිරීමේදී 'Glock' වර්ගයේ ගිනි අවි දෙකක් හමු වී ඇති අතර, ඉන් එකක් තරුණයාගේ කලිසම තුළ සඟවාගෙන සිටි බවයි පොලිසිය පවසන්නේ. මෙයට අමතරව පිහි දෙකක්, balaclava මුහුණු ආවරණයක්, සොරකම් කරන ලද තවත් අංක තහඩු කට්ටලයක් සහ තහනම් මත්ද්‍රව්‍යයක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් තරුණයා Cabramatta පොලිස් ස්ථානය වෙත රැගෙන යාමෙන් පසු ඔහුට එරෙහිව චෝදනා 10 ක් ගොනු කර තිබෙනවා. ඊට අවසර නොලත් පිස්තෝලයක් ළඟ තබා ගැනීම, පොදු ස්ථානයක පිහියක් රැගෙන යාම, තහනම් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ බරපතල අපරාධයක් සිදු කිරීමේ අරමුණින් මුහුණ ආවරණයක් ළඟ තබා ගැනීම වැනි චෝදනා ඇතුළත්.
සැකකරු අගෝස්තු 1 වන සෙනසුරාදා Parramatta ළමා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහුට ඇප ලබා දීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.



