විදේශික සේවකයින් රට තුළට පැමිණීම පාලනය කිරීමේ අරමුණින් ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke. විසින් නිකුත් කරන ලද නව නියෝගයක් හේතුවෙන්, ඕස්ට්‍රේලියාවට හෙදියන්, ගුරුවරුන් සහ අනෙකුත් නිපුණ සේවකයින් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන පෞද්ගලික ආයතනවලට මාස 12 ක් දක්වා දීර්ඝ කාලයක් බලා සිටීමට සිදුව තිබෙනවා.
නව නීතිරීතිවලට අනුව, විදේශයන්හි සිට අයදුම් කරන සේවකයින් වෙනුවට දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ රැඳී සිටිමින් වීසා සඳහා අයදුම් කරන පිරිස් වෙත ප්‍රමුඛතාව ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ආරක්ෂක සහ නීතිය පසිඳලීමේ ක්ෂේත්රවල නියුතු පිරිස් වෙත මුල් තැන හිමිවන අතර, ඉන්පසුව ඕස්ට්‍රේලියාව තුළ සිට අයදුම් කරන ගොඩනැගිලි නිර්මාණ, සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්රවල සේවකයින්ට ප්‍රමුඛතාව හිමිවනු ඇති.
කෙසේවෙතත්, ඕස්ට්‍රේලියාවෙන් පිටත සිට අයදුම් කරන අනෙකුත් නිපුණ ශ්‍රමිකයින්ගේ වීසා අයදුම්පත් සලකා බැලීම පසුවට යොමු කර තිබෙනවා. මේ හේතුවෙන් දැනටමත් ශ්‍රමික හිඟයකට මුහුණ දී සිටින ව්‍යාපාරික අංශ සහ වෙළඳ මණ්ඩල රජයේ මෙම තීරණය දැඩි ලෙස විවේචනය කරනවා.
මේ අතර, 2028 වන විට ශුද්ධ විදේශීය සංක්‍රමණිකයින් සංඛ්‍යාව 225,000 දක්වා අඩු කිරීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ශිෂ්‍ය වීසා සහ සංචාරක වීසා සීමා කිරීමටද ඉදිරියේදී පියවර ගනු ඇති බවට වාර්තා වනවා.



