අපරාධ සඳහා වරදකරුවන් වන පුද්ගලයන්ට දඬුවම් ලිහිල් කර ගැනීම සඳහා පවුලේ අය, මිතුරන් හෝ රැකියා ස්ථානයේ සේවකයන්ගෙන් ලබාගන්නා චරිත සහතික උසාවියට ඉදිරිපත් කිරීම Western Australia හි සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගැනීමට ආසන්නතම හේතුව වී ඇත්තේ Western Power ආයතනයේ උසස් නිලධාරියෙකු විසින් සිය සේවිකාවක දූෂණය කිරීමේ සිද්ධියකට වරදකරු වීමෙන් පසු, ඔහු වෙනුවෙන් එකම ආයතනයේ සේවකයන් තිදෙනෙකු චරිත සහතික ලබාදීමේ පුවතක් වාර්තා වීමයි. එම සිදුවීමෙන් පසු අදාළ සේවකයන් තිදෙනාගේ වැඩ තහනම් කිරීමටද බලධාරීන් පියවර ගත්තා.

මීට පෙර ළමා අපචාර නඩුවලට පමණක් මෙම සහතික තහනම් කිරීමට සැලසුම් කර තිබුණද, මෙම සිදුවීමත් සමග ප්‍රාන්ත රජය තීරණය කළේ සියලුම අපරාධ නඩු සඳහා මෙම තහනම බලපැවැත්වෙන පරිදි නීති සංශෝධනය කිරීමටයි. නීතිපති Tony Buti සහ බලශක්ති අමාත්‍ය Amber-Jade Sanderson පෙන්වා දෙන්නේ, බලපෑම් සහිත හෝ සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති පුද්ගලයන්ට මෙවැනි සහතික හරහා උසාවියෙන් වාසි සහගත තත්ත්වයන් හිමිවීම මහජනතාවගේ අප්‍රසාදයට හේතු වී ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදී වරදකරුවන් වන කිසිදු අපරාධකරුවෙකුට දඬුවම් අඩු කරගැනීම සඳහා මෙවැනි චරිත සහතික භාවිත කිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.