බටහිර ඕස්ට්‍රේලියාවේ Broome නගරයේ සිදුකළ හදිසි වාහන පරීක්ෂාවකදී, McDonald's McMuffin බර්ගරයක් තුළ සඟවා තිබූ 'මෙත්' (methylamphetamine) මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

Cable Beach ප්‍රදේශයේදී රථවාහන පරීක්ෂාවකට ලක්කළ රථයක තිබී හමු වූ ක්ෂණික ආහාර බෑගයක් සෙවුම් බලපත්‍ර මත පරීක්ෂා කිරීමේදී, McMuffin බර්ගරයක ziplock බෑගයක දමා තිබූ මෙම මත්ද්‍රව්‍ය හමු වූ බවයි පොලිසිය පවසන්නේ. සිද්ධියට සම්බන්ධ 39 හැවිරිදි Derby ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අගෝස්තු 20 වනදා අත්අඩංගුවට ගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත ඔහුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

මේ පිළිබඳව බලධාරින් සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විවිධ උපක්‍රම භාවිත කරමින් මත්ද්‍රව්‍ය සඟවා තැබීමට පෙළඹී ඇති බවයි. ආහාර ද්‍රව්‍ය අස්සේ පවා මත්ද්‍රව්‍ය සඟවා තිබිය හැකි බැවින්, ඉදිරියේදී සැකකටයුතු සෑම වාහනයක්ම සම්පූර්ණයෙන් පරීක්ෂාවට ලක්කිරීමට සිදුවන බවද ඇය වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර Broome හි ක්ෂණික ආහාර හලක් අසලදී Perth සිට 2000km කට වඩා දුර ගෙවා මත්ද්‍රව්‍ය රැගෙන ආ 21 හැවිරිදි තවත් තරුණයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. Broome පොලිසිය ප්‍රකාශ කළේ ප්‍රදේශය පුරා ක්‍රියාත්මක වන 'මෙත්' මත්ද්‍රව්‍ය ජාලයන් මර්දනය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.