ඉදිරි දින කිහිපය තුළ ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ පාලන ප්‍රදේශ රැසකට තද වැසි සහ ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
Eastern Western Australia ප්‍රදේශයට ඉහළින් වර්ධනය වන බලවත් අඩු පීඩන කලාපයක් හේතුවෙන් මෙම අයහපත් කාලගුණ තත්ත්වය හටගෙන තිබෙනවා. මෙමගින් ඉන්දියානු සාගරය වෙතින් ඇදී එන තෙතමනය සහිත සුළං නිසා ඉදිරි දින තුන තුළ දිවයින පුරා ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැලෙනු ඇති බවයි ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ David Crock සඳහන් කළේ.
South Australia ප්‍රදේශයට සඳුදා දිනයේදී මෙයින් වැඩිම බලපෑමක් එල්ලවන අතර, Eyre Peninsula, Yorke Peninsula සහ Adelaide අවට ප්‍රදේශවලට 30mm සිට 50mm දක්වා තද වැසි පතිත විය හැකියි. දැනටමත් එම ප්‍රදේශවල ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ වැඩි අවදානමක් පවතිනවා.
පසුව මෙම පද්ධතිය නැගෙනහිර දෙසට ගමන් කරමින් අඟහරුවාදා වන විට Victoria, New South Wales සහ Southern Queensland වෙත බලපෑම් එල්ල කරනු ඇති. Northern VIC ප්‍රදේශවලට 40mmසිට 60mm දක්වා වැසි ඇදහැලිය හැකි අතර, එමගින් Murray ගඟට ජලය සපයන ගංගා පද්ධතිවල ජල මට්ටම ඉහළ යා හැකි බවටද අනතුරු අඟවා තිබෙනවා.
මෙම තත්ත්වය සමග දැඩි අකුණු සැර සහ තද සුළං ඇතිවිය හැකි අතර බදාදාවන විට මෙම අඩු පීඩන කලාපය Tasman මුහුද දෙසට ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.



