පසුගිය වසරේ ඇති වූ බරපතල ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය හමුවේ Western Australia ප්‍රාන්ත රජය විසින් හඳුන්වා දුන් නොමිලේ එන්නත් ලබා දීමේ විශේෂ වැඩසටහන අවසන් වී ඇති අතර, එහිදී තබා තිබූ එන්නත්කරණ ඉලක්ක කරා ළඟාවීමට ප්‍රාන්තය අපොහොසත් වී තිබෙනවා. නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව ජ්‍යෙෂ්ඨ පූරවැසියන් සහ ළමුන් සඳහා තැබූ ඉලක්කවලට ආසන්නයට පැමිණීමට හැකි වුවත්, සමස්ත ජනගහනයෙන් එන්නත් ලබාගෙන ඇත්තේ සියයට 28 ක ප්‍රතිශතයක් පමණයි. කෙසේ වෙතත්, ලබා දුන් සහනය නිසා FluMist නාසයට විදින එන්නත හරහා ළමුන් විශාල ප්‍රමාණයක් එන්නත් කිරීමට හැකි වූ බවත්, මේ වන විට ප්‍රාන්තයේ අටලක්ෂ හැටදහසකට වැඩි පිරිසක් එන්නත් ලබාගෙන ඇති බවත් රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මේ අතර, පර්යේෂකයන් පෙන්වා දෙන්නේ COVID-19 වසංගතයෙන් පසුව ජනතාව එන්නත් ලබාගැනීමට දක්වන උනන්දුව අඩුවීම හමුවේ මෙවැනි ඉලක්ක සපුරා ගැනීම අභියෝගයක් වූවත්, රජය නොමිලේ එන්නත් ලබා දෙමින් කළ මැදිහත්වීම අගය කළ යුතු බවයි. එසේම පසුගිය වසරට සාපේක්ෂව මෙවර ඉන්ෆ්ලුවෙන්සා වැළඳුණු සංඛ්‍යාව සහ රෝහල්ගත කිරීම් සැලකිය යුතු ලෙස පහළ බැස තිබුණත්, RSV වෛරස් ආසාදනයන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන බැවින් ඒ සඳහා වන නොමිලේ එන්නත ලබාගන්නා ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් විපක්ෂය චෝදනා කරන්නේ රජය මෙම එන්නත්කරණ වැඩසටහන මීට වඩා වේලසින් ආරම්භ කළ යුතුව තිබූ බවයි. එසේම රෝහල් පද්ධතියේ පවතින දැඩි තදබදය සහ ගිලන්රථ පෝලිම්වල රැඳී සිටීමට සිදුවන කාලය තවමත් ඉහළ මට්ටමක පවතින බවත්, මෙවර රෝගීන් සංඛ්‍යාව අඩුවී ඇත්තේ රජයේ ක්‍රියාමාර්ග නිසා නොව වාසනාව මත බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.