ඕස්ට්‍රේලියාවේ ප්‍රථම වරට හඳුන්වා දීමට ගිය නිවසේ සිට රැකියාව කිරීමේ (Work-From-Home) පනත් කෙටුම්පත Victorian පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වී තිබෙනවා.

මෙම පනත මගින් සේවකයන්ට සතියකට දින දෙකක් නිවසේ සිට වැඩ කිරීමට නීතිමය අයිතිය හිමිවීමට නියමිතව තිබූ නමුත්, විපක්ෂයේ සහ අනෙකුත් සුළු පක්ෂවල එකමුතුවෙන් පනත වැඩිදුර පරීක්ෂාව සඳහා පාර්ලිමේන්තු පරීක්ෂණයකට යොමු කිරීමට තීරණය කෙරුණා. ඒ අනුව ඔක්තෝබර් 20 වනදා තෙක් මෙම පනත ඉදිරියට ගෙන යාම අත්හිටුවනු ලබනවා.

අවසාන මොහොතේ ගෙන ආ සංශෝධන අධ්‍යයනය කිරීමට ප්‍රමාණවත් කාලයක් නොලැබුණු බවට මන්ත්‍රීවරුන් චෝදනා කරන අතර, ප්‍රාන්ත අගමැති Ben Carroll ප්‍රකාශ කළේ විපක්ෂය මෙම පනතට සහය දෙන බවට අඟවමින් සිට අවසාන මොහොතේ ඊට එරෙහිව ඡන්දය භාවිත කර ඇති බවයි.

නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට පෙර මෙය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට Labor රජයට තිබූ අවස්ථාව මේ සමග අහිමි වී තිබෙනවා. Business Council of Australia ඇතුළු ව්‍යාපාරික අංශ සඳහන් කළේ මෙම පනත මගින් ව්‍යාපාර මත වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බැවින් මෙම තීරණය ඉතා වැදගත් බවයි.