ඕස්ට්‍රේලියානු රජය විසින් වීසා නිකුත් කිරීමේ පටිපාටියට සිදුකළ නව සංශෝධන හේතුවෙන් මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය අස්වනු නෙළීමේ කාලසීමාව තුළ දැඩි ශ්‍රම හිඟයකට මුහුණ දී තිබෙනවා.

සංක්‍රමණිකයන් පැමිණීම පාලනය කිරීමේ අරමුණින්, රටවල් 29 කින් 24 කට අදාළ Working Holiday වීසා අයදුම්පත් සලකා බැලීම රජය විසින් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. එමෙන්ම skilled වීසා නිකුත් කිරීමේදී ද සෞඛ්‍ය, ගුරු සහ ආරක්ෂක ක්ෂේත්‍රවලට ප්‍රමුඛතාව ලබාදීම නිසා කෘෂිකාර්මික අංශයේ වීසා ප්‍රමාද වී ඇති බවයි වාර්තා වන්නේ.

අස්වනු නෙළන කාලයේදී ඕස්ට්‍රේලියාවේ කෘෂිකාර්මික ශ්‍රම බලකායෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ආවරණය කරන්නේ විදේශීය ශ්‍රමිකයන් විසිනුයි. Victoria, Northern Territory සහ Tasmania වැනි ප්‍රදේශවල ගොවීන් පෙන්වා දෙන්නේ යන්ත්‍රසූත්‍ර ක්‍රියාකරවන්නන් සහ අස්වනු නෙළන්නන් සඳහා වීසා අනුමැතිය නොලැබීම නිසා වගාවන් සහ සතුන් පාලන කටයුතු පවත්වාගෙන යාම දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි.

කෙසේ වෙතත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, දීර්ඝකාලීන නියාමනයක් වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති අතර වීසා අනුමැතිය ලැබෙන තෙක් ඕස්ට්‍රේලියාවට පැමිණීම සැලසුම් නොකරන ලෙසයි අයදුම්කරුවන්ට දැනුම් දෙන්නේ.