Western Sydney හි සිදු වූ රිය අනතුරකින් පසුව, ගිනිගනිමින් තිබූ අධිසැර මෝටර් රථයක සිටි රියදුරාගේ ජීවිතය බේරා ගැනීමට අසල්වැසියෙකු සමත්ව තිබෙනවා.

සඳුදා පස්වරු 8.00 ට පමණ Luddenham හි Luddenham මාර්ගය ඔස්සේ ධාවනය වූ Corvette වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර, අනතුරත් සමගම රථයේ ගිනිගැනීමක් සිදුව තිබෙනවා.

අනතුර සිදුවන ශබ්දය ඇසී වහාම ක්‍රියාත්මක වූ Angleo Molluso නමැති අසල්වැසියා සහ තවත් පුද්ගලයෙකු එක්ව, ජීවිත පරිත්‍යාගයෙන් ගිනිජාලා මැදින් ක්‍රියාත්මක වී රථය තුළ සිරවී සිටි 23 හැවිරිදි රියදුරා පිටතට ඇදගෙන තිබෙනවා.

බරපතල තුවාල ලැබූ රියදුරා වහාම Westmead Hospital වෙත ඇතුළත් කර ඇති අතර, ගිනි නිවන හමුදාව පැමිණ ගින්න පාලනය කිරීමට පියවර ගත්තා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.