2026 AFLW තරගාවලිය ආරම්භ කරමින් Unley Oval හිදී පැවැති තරගයෙන් Adelaide Crows පිල පරදවා ලකුණු 8 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට Sydney Swans කණ්ඩායම සමත් වුණා. Sydney Swans කණ්ඩායම Adelaide Crows පිල පරාජයට පත්කළ පළමු අවස්ථාව මෙය ලෙසයි වාර්තා වන්නේ.
තරගයේ අවසන් කාර්තුව ආරම්භ වන විටත් ලකුණු 12 කින් පසුපසින් සිටි Sydney Swans පිල, Cynthia Hamilton සහ Holly Cooper වාර්තා කළ ගෝල සමඟින් ලකුණු 2 කින් පෙරමුණ ගැනීමට සමත් වුණා. අනතුරුව තරගයේ අවසන් මිනිත්තු කිහිපයේදී Sydney Swans වෙනුවෙන් ප්රථම වරට තරග වැදුණු 21 හැවිරිදි Imogen Brown විසින් වාර්තා කළ තීරණාත්මක ගෝලයත් සමඟින් Swans පිල සිය ජයග්රහණය තහවුරු කරගත්තා. අවසන් කාර්තුවේදී Adelaide Crows පිලට එකදු ලකුණක්වත් ලබා ගැනීමට Sydney Swans පන්දු රකින්නන් ඉඩ දුන්නේ නැහැ.
නවක ක්රීඩිකාවන් රැසකගේ දක්ෂතා කැපී පෙනුණු මෙම තරගයේදී Sydney Swans වෙනුවෙන් ප්රථම වරට ක්රීඩා කළ Taylor Smith පළමු අර්ධයේදීම ගෝල 3 ක් වාර්තා කළා. එසේම පරාජිත Adelaide Crows පිල වෙනුවෙන් ක්රීඩා කළ 18 හැවිරිදි Chloe Bown සහ නායිකා Ebony Marinoff ද කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුණා.
නව ප්රධාන පුහුණුකරු Colin O’Riordan යටතේ Sydney Swans පිල ලබාගත් මෙම ජයග්රහණය ඉදිරි AFLW තරගාවලිය සඳහා ඔවුන් තැබූ සාර්ථක ආරම්භයක් ලෙසයි විචාරකයින් හඳුන්වන්නේ.



