ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා නව ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාල නඩුවේ සැකකාරියකට ඇපකරුවන් ලෙස පෙනී සිටි ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංගි අනුෂ්කා විජේනායක යන දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (16) වරෙන්තු නිකුත් කළා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අභාවප්‍රාප්ත කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක වෙනුවෙන් ඇප තැබූ ඇපකරුවන් වන අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අධිකරණය හමුවේ ඊයේ (16) පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුවු බවයි ආරංචි මාර්ග සදහන් කලේ

ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වී ඇති බවත් ඇයගේ අවමංගල්‍ය කටයුතු ඊයේ (16) දිනයේදී තිබීම හේතුවෙන් ඔවුන්ට අධිකරණයටපෙනී සිටීමට නොහැකි වූ බවයි.

වරෙන්තු ආපසු කැඳවීම සඳහා අධිකරණය හමුවට කරුණු ඉදිරිපත් කරන අවස්ථාවේදී මෙම කාරණය අධිකරණයේ අවධානයට යොමු කරන ලෙසයි මෙහිදී මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ.