ඕස්ට්‍රේලියාවේ උපත් අනුපාතය වේගයෙන් පහත වැටීම හමුවේ මෙරට ආර්ථිකය හා ජනගහන සංයුතිය පවත්වාගෙන යාම සඳහා සංක්‍රමණිකයන් ලබාගැනීම ප්‍රබල සාධකයක් වන බව ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාර අමාත්‍ය Jim Chalmers ප්‍රකාශ කරනවා.

පවත්නා දත්තවලට අනුව, ඕස්ට්‍රේලියාවේ සඵලතා අනුපාතය (fertility rate) 2030-31 වන විට කාන්තාවකට දරුවන් 1.5 දක්වාත්, 2065 වන විට 1.34 දක්වාත් තවදුරටත් පහත වැටෙනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ. මෙම තත්ත්වය හමුවේ නිසි කළමනාකාරිත්වයකින් යුතුව සංක්‍රමණිකයන් රටට ඇතුළත් කරගැනීම ඉදිරි අනාගතයට විශාල ශක්තියක් වන බව භාණ්ඩාගාර අමාත්‍ය Jim Chalmers පෙන්වා දෙනවා.

මෙරට වැසියන්ගේ ආයු කාලය දීර්ඝ වීම සහ ජනගහනය වයස්ගත වීම හමුවේ රාජ්‍ය සේවාවන් මත පවතින පීඩනය ඉහළ ගොස් ඇති අතර, වසරකට 225,000 ක ශුද්ධ සංක්‍රමණික ඉලක්කයක් පවත්වා ගැනීමට Labor රජය අපේක්ෂා කරනවා. කෙසේ වෙතත්, තාවකාලික විසා පද්ධතියේ පවතින අඩුපාඩු සකස් කරමින් සංක්‍රමණිකයන් සීමා කිරීමට අදාළ නීති තර කිරීමටද අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Tony Burke පියවර ගෙන තිබෙනවා.