අවලංගු කිරීමට නියමිත ඩිප්ලෝමා පාඨමාලාවක් සඳහා අවසාන මොහොතේ සිසුන් ඇතුළත් කරගැනීමේ ශීඝ්‍ර වර්ධනයක් වාර්තා වීමත් සමඟ, ශිෂ්‍ය වීසා නීතිරීති මගහැරීමට උත්සාහ නොකරන ලෙස ඕස්ට්‍රේලියානු රජය පෞද්ගලික විද්‍යාල වෙත දැඩි ලෙස අවවාද කර සිටිනවා.
Graduate Diploma of Management (Learning) නමැති මෙම පාඨමාලාව වෙනත් අරමුණු සඳහා අවභාවිත කර ඇති බවට එල්ල වූ චෝදනා හේතුවෙන්, එය ඔක්තෝබර් 5 වැනිදා සිට තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.කෙසේ වෙතත්, මෙම තහනම ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවද පෞද්ගලික විද්‍යාල විසින් අවසාන මොහොතේ සිසුන් 3,000කට ආසන්න සංඛ්‍යාවක් අලුතින් ලියාපදිංචි කරගෙන ඇති බව වාර්තා වනවා.
අන්තර්ජාතික අධ්‍යාපනය පිළිබඳ සහකාර අමාත්‍ය වන Julian Hill සඳහන් කළේ, නීතිරීති උල්ලංඝනය කරන විද්‍යාල සඳහා ඉදිරියේදී අලුතින් සිසුන් බඳවාගැනීම තහනම් කිරීමට පවා රජය සූදානම් බවයි. හදිසියේ සිදුකරන ලියාපදිංචි කිරීම් මගින් රජයේ නීතිමය අරමුණ මගහැරීමට ඉඩ නොදෙන බවත්, මෙවැනි සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව දැනටමත් සක්‍රියව පරීක්ෂණ පවත්වන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.
එමෙන්ම, ඇතැම් විද්‍යාල ඉහළ කොමිස් මුදල් ලබාදෙමින් එදිනම ඇතුළත් වීමේ ලිපි නිකුත් කර සිසුන් කඩිනමින් ඇතුළත් කරගැනීමට කටයුතු කර ඇති අතර, මේ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මගින් අදාළ ආයතන වෙත නිල වශයෙන් පැහැදිලි කිරීම් ඉල්ලා ලිපි යවා තිබෙනවා.



