ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා එනම් Subclass 500 සහ Student Guardian වීසා එනම් Subclass 590 සඳහා වන නව නීතිරීති මාලාවක්, ඔක්තෝබර් 2 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි හඳුන්වා දී තිබෙනවා.

මෙම නව සංශෝධන මගින් ඕස්ට්‍රේලියාව තුළ සිටියදී වීසා සඳහා ඉල්ලුම් කළ හැකි පුද්ගලයන්, වීසා බලපත්‍ර හිමිවන අය මෙන්ම ශිෂ්‍ය වීසා අයදුම්පතකට පවුලේ සාමාජිකයන් ඇතුළත් කළ හැකිද නැද්ද යන්න පිළිබඳවද නව නීති පනවා තිබෙනවා. ඒ අනුව, අධ්‍යාපන, සංචාරක හෝ පදිංචිය පිළිබඳ සැලසුම් සකස් කිරීමට පෙර මෙම නව නීතිරීති පිළිබඳව විශේෂයෙන් අවධානය යොමුකරන ලෙසයි බලධාරීන් දැනුම් දෙන්නේ.

නව නීතිරීතිවලට අනුව ශිෂ්‍ය වීසා බලපත්‍රයක් යටතේ වසර 6ක් දක්වා හෝ පාඨමාලා කාලසීමාවට යටත්ව ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට අවස්ථාව හිමිවනවා.

මෙහිදී වීසා අයදුම්පතක් සඳහා අයකරනු ලබන ගාස්තුව ඕස්ට්‍රේලියානු ඩොලර් 2,500කින්ආරම්භ වන අතර, Pacific දූපත් රටවල්, Timor-Leste සහ ASEAN කලාපයේ සුදුසුකම් ලබන පුරවැසියන්ට මෙන්ම, ඉංග්‍රීසි භාෂා පාඨමාලා (ELICOS) සහ විධිමත් අධ්‍යාපන සුදුසුකමක් ලබා නොදෙන පාඨමාලා (Non-Award) සඳහා අයදුම් කරන පුද්ගලයන්ට සහනදායී වීසා ගාස්තු හිමිවන බව සඳහන්.එමෙන්ම ශිෂ්‍ය වීසා බලපත්‍රයක් හිමි අයෙකුට,

  • ඕස්ට්‍රේලියාවේ අනුමත පාඨමාලාවක් හැදෑරීමට,

  • අවසර ලත් කාල සීමාවන් තුළ ඕස්ට්‍රේලියාව වෙත ගමන් කිරීමට සහ නැවත පැමිණීමට,

  • පාඨමාලා පැවැත්වෙන කාලසීමාව තුළදී සති දෙකකට පැය 48ක කාලයක් රැකියාවල නිරත වීමට අවස්ථාව හිමිවනවා.

කෙසේ වෙතත්, මෙම වීසා බලපත්‍රය සඳහා ඉල්ලුම් කිරීමේදී ප්‍රධාන කොන්දේසි කිහිපයක් සපිරීම අනිවාර්ය වනවා.

ඒ අනුව, අයදුම්පත් Online ක්‍රමවේදය ඔස්සේ යොමුකළ යුතු අතර, වෙනත් සුදුසුකම් ලත් වීසා හිමි අයෙකුට හැර අනෙකුත් සියලු දෙනා ඕස්ට්‍රේලියාව වෙත පැමිණීමට පෙර රටින් පිටත සිට අයදුම් කළ යුතුයි.

තවද, වීසා තීරණය ලබාදෙන අවස්ථාව වන විට වලංගු පාඨමාලා ලියාපදිංචිය තහවුරු කරන ලේඛනයක්  තිබීම, විදේශීය සිසුන් සඳහා සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් හිමිව තිබීම සහ වයස අවුරුදු 6ට වැඩි වීම අනිවාර්ය වනවා.

 අවුරුදු 18ට අඩු අයදුම්කරුවන් සඳහා සුභසාධන විධිවිධාන තහවුරු කළ යුතු අතර, විශේෂ නිදහස් කිරීමක් ලබා නොමැති නම් සහකරු හෝ දරුවන් ඕස්ට්‍රේලියාව වෙත කැඳවාගෙන ඒමට අවසර හිමිවන්නේ නැහැ.

වීසා අයදුම්පත් සලකා බැලීමේ ප්‍රමුඛතාවන් Ministerial Direction 111 සහ Ministerial Direction 115 යන මාර්ගෝපදේශ යටතේ සිදුකරන බවත්, යම් අයෙකුට වීසා ලබාගැනීමට උපකාර වන පුද්ගලයන් වෙත මුදල් ගෙවීමට පෙර ඒ පිළිබඳව නිල තොරතුරු පරීක්ෂා කර බලන ලෙසත් රජය වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබෙනවා.