ඕස්ට්‍රේලියාවේ වෙබ් අඩවි නියාමන ආයතනය වන au Domain Administrator (auDA) මගින් සිදු කිරීමට නියමිත නව ප්‍රතිපත්තිමය වෙනසක් හේතුවෙන් මෙරට වෙබ් අඩවි මිලියන ගණනකට බලපෑම් එල්ල විය හැකි බවට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අනතුරු අඟවනවා.

නව යෝජනාවලට අනුව, මෙතෙක් පැවැති "close and substantial connection" නීතිය අහෝසි කෙරෙන අතර, ඉන්පසු ව්‍යාපාර හෝ සංවිධානවලට තමන් සපයන නිෂ්පාදන, සේවාවන් හෝ පවත්වන උත්සව මත පදනම්ව වෙබ් අඩවි නාම (Domains) ලියාපදිංචි කිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ. ඒ වෙනුවට වෙබ් අඩවි නාමය, අදාළ ව්‍යාපාරයේ නිල නාමයට පමණක් සෘජුවම සම්බන්ධ විය යුතු වනවා.

මෙමගින් .com.au සහ .net.au වෙබ් අඩවි නාමයන්හි විශ්වාසනීයත්වය තහවුරු වන බව auDA ආයතනය පවසන නමුත්, මෙමගින් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, පාසල් සහ රාජ්‍ය නොවන සංවිධාන දැඩි අපහසුතාවට පත්වන බවටයි විචාරකයින් පෙන්වා දෙන්නේ. එමෙන්ම ව්‍යාපාරිකයින්ට අමතර පිරිවැයක් දැරීමට සිදුවීම නිසා බොහෝ දෙනා ලිහිල් නීති පවතින .comවෙනත් Domain නාමයන් වෙත යොමුවීමේ අවදානමක්ද පවතින බව වාර්තා වනවා.