එළඹෙන ලැව්ගිනි ඍතුවට පෙර පාසල් භූමිවල පිහිටි ගස්කොළන් කපා ඉවත් කිරීමට Victoria ප්‍රාන්ත රජය පියවර ගැනීමත් සමඟ, Central Victoria හි පාසල් දෙකක දෙමාපියන් සහ කාර්ය මණ්ඩලය දැඩි විරෝධයක් පළ කර සිටිනවා.
Castlemaine හි Elphinstone Primary School සහ Carisbrook Primary School යන පාසල්වල ගොඩනැගිලි ආසන්නයේ තිබූ ගස් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව කපා දැමීමට කොන්ත්‍රාත්කරුවන් කටයුතු කර තිබෙනවා. Elphinstone පාසලේ දෙමාපියන් එල්ල කළ විරෝධතා හමුවේ ගස් කැපීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට Victorian Schools Building Authority ආයතනයට සිදු වූ අතර, ඉතිරි ගස් රැකගැනීම සඳහා ගස් කැපීම වැළැක්වීමට ඕනෑම පියවරක් ගැනීමට සූදානම් බව දෙමාපියන් පවසනවා.
ගොඩනැගිලිවලට මීටර් 10ක් ඇතුළත ඇති සියලුම ගස් මෙලෙස ඉවත් කර ඇත්තේ ලැව්ගිනි අවදානමෙන් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ Shelter in Place නීතිරීතිවලට අනුව බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත්, මෙමගින් සිසුන්ට සෙවන ලබාදෙන පරිසරය අහිමි වන බවත්, රජය අනවශ්‍ය ලෙස ලැව්ගිනි අවදානම ප්‍රමුඛ කොටගෙන මෙවැනි පියවරක් ගෙන ඇති බවත් පරිසරවේදීන් සහ ප්‍රාදේශීය වැසියන් චෝදනා කරනවා.



