Victoria හි රාජ්‍ය රෝහල්වල වෛද්‍යවරුන් සහ අනුබද්ධ සෞඛ්‍ය වෘත්තිකයින් වැටුප් සහ සේව්‍ය කොන්දේසි සම්බන්ධයෙන් පවතින ගැටලු මුල්කරගනිමින් අද දිනයේ වෘත්තීය සමිත ක්‍රියාමාර්ගයක නිරත වනවා.

මේ අනුව වෛද්‍යවරුන් පස්වරු 1:30 සිට 5:30 දක්වා පැය 4 ක කාලයක් වැඩ වර්ජනයේ නිරත වන අතර, අනුබද්ධ සෞඛ්‍ය වෘත්තිකයින් පැය 24 පුරා සම්පූර්ණ වර්ජනයක නිරත වන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හදිසි ප්‍රතිකාර, මාතෘ, ළමා, පිළිකා ප්‍රතිකාර, හෘද රෝග සහ අවසන් අදියරේ රෝගී සත්කාර වැනි දැඩි සත්කාර සහ අත්‍යවශ්‍ය සේවා අංශ මෙම වර්ජනයෙන් නිදහස් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ වික්ටෝරියා ශාඛාවේ සභාපති Simon Judkins සඳහන් කරන්නේ මාස 6 කට වැඩි කාලයක් සාකච්ඡා පැවැත්වුවද රජය විසින් මෙතෙක් සාධාරණ විසඳුමක් ලබාදී නොමැති බවයි. පැය 12.5 ක සේවා කාල සීමාවක් සහ සති දෙකකට දින 3 ක විවේකයක් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් ඔවුන් පෙනී සිටිනවා.

එමෙන්ම වික්ටෝරියා අනුබද්ධ සෞඛ්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ ලේකම් Aneta Menkinoska පෙන්වා දෙන්නේ Victoria හි සෞඛ්‍ය සේවකයින්ට ලැබෙන අඩු වැටුප් සහ අධික සේවා පීඩනය හේතුවෙන් බොහෝ දෙනා සේවයෙන් ඉවත්වන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය Ingrid Stitt සඳහන් කරන්නේ AMA සංගමය සමග සාකච්ඡා ප්‍රගතිශීලීව සිදුවන අතර, ඉක්මනින්ම දෙපාර්ශවයටම එකඟවිය හැකි විසඳුමකට පැමිණීමට බලාපොරොත්තු වන බවයි.