ඕස්ට්‍රේලියාවේ Bendigo ප්‍රදේශයේ පිහිටි Lake Weeroona විල ආශ්‍රිතව Ibis සහ ජලජ පක්ෂීන් 60 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් අසාමාන්‍ය ලෙස මියයාම හේතුවෙන් H5N1 කුරුළු උණ වෛරසය පැතිරීමේ දැඩි සැකයක් මතුව තිබෙනවා.

මියගිය පක්ෂීන්ගේ සාම්පල ලබාගෙන ඇති අතර, ඒවා වැඩිදුර පරීක්ෂණ සඳහා පරීක්ෂණාගාර වෙත යොමුකර ඇති බවයි බලශක්ති, පරිසර සහ දේශගුණික ක්‍රියාමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. පරිසරවේදීන් පවසන්නේ, අනෙකුත් පක්ෂීන්ද ඇවිදීමට අපහසුතාවක් පෙන්වමින් අසාමාන්‍ය හැසිරීම් පෙන්නුම් කරන බවයි.

කෙසේ වෙතත්, මේ වන තෙක් Bendigo කලාපයෙන් H5N1 කුරුළු උණ රෝගීන් නිල වශයෙන් තහවුරු වී නොමැති අතර, රෝගී වූ හෝ මියගිය පක්ෂීන් පිළිබඳව තොරතුරු ඇත්නම් වහාම Agriculture Victoria වෙබ් අඩවියට හෝ හදිසි සත්ව රෝග උපකාරක අංකය වෙත දැනුම් දෙන ලෙසයි බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.