ඕස්ට්‍රේලියානු ජාතික පිහිනුම් ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ අකලංක පීරිස්, එරට ප්‍රමුඛ පෙළේ පිහිනුම් ක්‍රීඩකයන් සහ ජාත්‍යන්තර ක්‍රීඩකයන් සමඟ තරග කරමින් ශ්‍රී ලංකා ජාතික වාර්තා තුනක් අලුත් කිරීමට සමත්ව තිබෙනවා.
ඔක්තෝබර් 1 වැනිදා පැවති පිරිමි මීටර් 50 පසුපස ආර ඉසව්වේ මූලික වටයේදී තත්පර 24.45ක කාලයක් වාර්තා කරමින්, මීට පෙර ඔහු විසින්ම පිහිටුවා තිබූ තත්පර 24.52ක ශ්‍රී ලංකා ජාතික වාර්තාව අකලංක පළමුවරට අලුත් කළා. එදිනම පැවති අවසන් තරගයේදී තත්පර 24.35ක කාලයක් වාර්තා කරමින් එම වාර්තාව යළිත් අලුත් කිරීමට ඔහු සමත් වුණා.
ඉන් අනතුරුව ඔක්තෝබර් 2 වැනිදා පැවති පිරිමි මීටර් 100 කේවල මිශ්‍ර ආර හෙවත් Individual Medley ඉසව්වේදී තත්පර 55.55ක කාලයක් වාර්තා කරමින්, එම ඉසව්වේ පැවති තත්පර 55.79ක ශ්‍රී ලංකා ජාතික වාර්තාව ද අලුත් කිරීමට අකලංක සමත්ව තිබෙනවා.
ඔස්ට්‍රේලියානු ජාතික ශූරතාවලිය ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ පිහිනුම් ක්‍රීඩකයන් රැසක් සහභාගී වන ඉහළ තරගකාරී ශූරතාවලියක්. ඕස්ට්‍රේලියාව නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ ලෝක ශූරතාව සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙසද මෙය පැවැත්වෙනවා.
මෙල්බර්න් නගරය කේන්ද්‍ර කරගනිමින් පුහුණුවීම් සිදුකරන අකලංක පීරිස්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමින් නියෝජනය කරන පිහිනුම් ක්‍රීඩකයෙකු ලෙස මෙම දස්කම් දැක්වීම ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩාවටද වැදගත් සලකුණක්.



