අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් 20%කින් පමණ පහත හෙළීම සඳහා රජය සතු සුපිරි වෙළඳසැල් ජාලයක් ආරම්භ කිරීමට Greens පක්ෂය යෝජනා කර සිටිනවා.
Greens පක්ෂයට අනුබද්ධ Green Institute ආයතනය මගින් ඉදිරිපත් කළ මෙම සැලැස්මට අනුව Coles සහ Woolworths ආයතනවලට අයත් වෙළඳසැල් 200ක් රජයට පවරා ගැනීමටත්, තවත් වෙළඳසැල් 400කට වැඩි ප්‍රමාණයක් අලුතින් ආරම්භ කිරීමටත් යෝජනා වී තිබෙනවා. මෙයින් පවුලකට වසරකට ඩොලර් 3,130කට වැඩි මුදලක් ඉතිරි කරගත හැකි බවයි ඔවුන් පවසන්නේ.
වසර පහක් සඳහා ඩොලර් බිලියන 25.1ක පිරිවැයක් දැරීමට සිදුවන මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු Greens පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Max Chandler-Mather සඳහන් කළේ, ලාභය අරමුණු කර නොගත් මෙවැනි රජයේ ආයතන හරහා ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට ලබා දිය හැකි බවයි.
YouGov ජනමත විචාරණයට අනුව 80%කට වැඩි ඡන්දදායකයින් පිරිසක් මෙවැනි රජයේ සුපිරි වෙළඳසැල් ජාලයක් ආරම්භ කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා. New York නගරයේ ක්‍රියාත්මක වන වැඩසටහනකට සමානව සකස් කර ඇති මෙම යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බවයි නව Greens පක්ෂ නායක David Shoebridge සඳහන් කරන්නේ.



