Brisbane හි පිහිටි One Nation පක්ෂයේ ඩොලර් මිලියන 8ක් වටිනා නව මූලස්ථාන ගොඩනැගිල්ල, ප්‍රකට බිලියනපතිනියක වන Gina Rinehart විසින් මිලදී ගෙන ඇති බව Barnaby Joyce අද තහවුරු කළා.

Spring Hill හි පිහිටි මෙම තෙමහල් ගොඩනැගිල්ල ඇයගේ සමාගමක් විසින් පසුගිය සතියේ මිලදී ගෙන ඇති අතර, One Nation පක්ෂය වාණිජ පදනම යටතේ අදාළ කාර්යාල අවකාශය ඇයගෙන් කුලියට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් Barnaby Joyce පවසා සිටියේ, තමන් උපයාගත් මුදල් තමන්ට කැමති පරිදි වියදම් කිරීමට ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් ඇති බවත්, මෙහි කිසිදු බැඳියාවන්ගේ ගැටුමක් (conflict of interest) නොමැති බවත්ය.

Australia හි ධනවත්ම පුද්ගලයා වන Gina Rinehart මීට පෙර ද Pauline Hanson නායකත්වය දෙන One Nation පක්ෂයට ඩොලර් මිලියන 2.1ක් වටිනා ගුවන් යානයක් සහ ඩොලර් මිලියන 2ක මුදලක් පරිත්‍යාග කරමින් සිය දැඩි සහයෝගය පළ කර තිබුණා.

මේ අතර, Queensland, NSW, South Australia සහ Western Australia යන ප්‍රාන්තවල One Nation පක්ෂයේ ජනප්‍රියත්වය මේ වනවිට සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. කෙසේ වෙතත්, රජයක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් බහුතර බලයක් ඔවුන් තවමත් ගොඩනගාගෙන නොමැති බවයි දේශපාලන විචාරකයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.