නීතිවිරෝධී දුම්කොළ වෙළඳාම මැඩපැවැත්වීම සඳහා කඩිනම් පියවර නොගැනීම සම්බන්ධයෙන් මේ වනවිට Victoria රජයට දැඩි විවේචන එල්ල වී තිබෙනවා. මෙම චෝදනාව එල්ල කරන්නේ Border Force හි Tobacco Strike Team නිර්මාණය කළ හිටපු ෆෙඩරල් පොලිස් නිලධාරියෙකු වන Rohan Pike විසින්.
වසර ගණනාවක් පුරා රජය මෙම ගැටලුව කෙරෙහි නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන්, එය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනයෙන් ගිලිහී ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, නීතිවිරෝධී දුම්කොළ අලෙවි කරන ව්‍යාපාර වසා දැමීමේ බලය පොලිසියට ලබා දෙමින් පසුගිය සැප්තැම්බර් 9 වනදා සිට නව නීති හඳුන්වා දීමට රජය පියවර ගත්තා. ඒ අනුව මේ වනවිටත් ව්‍යාපාරික ස්ථාන 51කට වසා දැමීමේ නිවේදන නිකුත් කර ඇති අතර, ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු දින 90ක් දක්වා අත්හිටුවීමට සහ අදාළ ආයතනවල නම් Tobacco Licensing Victoria වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කිරීමට ද නියමිතයි.
එහෙත් Mr. Pike පවසන්නේ, මෙම නව නීති මගින් Victoria Police වෙත වැටලීම් සිදුකිරීමට වැඩි බලයක් ලැබුණද, මිනීමැරුම් සහ ගිනි තැබීම් සිය ගණනකට මුල් වී ඇති මෙම නීතිවිරෝධී ජාවාරම සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට එය තවමත් ප්‍රමාණවත් නොවන බවයි.



