Sydney හි Inner West ප්‍රදේශයේ සිදුවූ බරපතල පිහි ඇනුමකින් අනතුරුව මේ වනවිට විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වනවා.

සඳුදා පෙරවරු 11.40 ට පමණ කාන්තාවක විසින් 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ අතකට පිහියකින් ඇනීමත් සමග, අදාළ ප්‍රදේශය වසා දමමින් (lockdown) මෙලෙස මෙහෙයුම් ආරම්භ කර තිබුණා. පිහි ඇනුමෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයාට ප්‍රථමාධාර ලබා දීමෙන් පසු මේ වනවිට ස්ථාවර තත්ත්වයෙන් යුතුව රෝහල් ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සිද්ධියත් සමග Newtown හි King St මාර්ගය දිශාවන් දෙකෙන්ම වසා දමා තිබෙනවා. Live Traffic NSW සඳහන් කරන පරිදි Northbound රථවාහන Wilson St ඔස්සේ ද, Southbound රථවාහන Missenden Rd ඔස්සේ ද හරවා යැවීමට කටයුතු කර ඇති අතර, එම ප්‍රදේශය හරහා ගමන් ගන්නා බස් රථ ද විකල්ප මාර්ග වෙත යොමු කර තිබෙනවා.

අදාළ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදු කළ පොලිසිය විසින් පිහියක් අතැතිව සිටි 27 හැවිරිදි කාන්තාවක් සොයාගෙන තිබුණා. ඇය අත තිබූ පිහිය බිම දමන ලෙසට පොලිසිය විසින් නියෝග කළ ද, ඇය ඊට අවනත නොවීම හේතුවෙන් Taser ප්‍රහාරයක් එල්ල කර සැකකාරියව අත්අඩංගුවට ගත් බවයි NSW Police සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් කාන්තාව Newtown Police Station වෙත රැගෙන ගොස් ඇති අතර, එහිදී ඇය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කෙරෙනවා.

මේ අතර Church St සහ Wilson St අතර පිහිටි King St මාර්ගය තවදුරටත් මහජනතාව සඳහා වසා දමා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.