ඉදිරි දින කිහිපය තුළ Queensland හරහා විශාල කුණාටු තත්ත්වයක් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මේ හේතුවෙන් ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන අතර, දැඩි සුළඟින් සහ වර්ෂාවෙන් යම් යම් හානි සිදුවිය හැකි බවටයි බලධාරීන් අනතුරු අඟවන්නේ.
Bureau of Meteorology හි කාලගුණ විද්‍යාඥ Angus Hines පෙන්වා දෙන්නේ, අඟහරුවාදා දිනය South East Queensland හි ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල කළ හැකි බවයි. ඒ අනුව Brisbane, Gold Coast, Sunshine Coast, Coolangatta, Noosa, Toowoomba සහ Burnett වැනි ජනාකීර්ණ ප්‍රදේශවලට මෙම කුණාටු තත්ත්වයත් සමඟ දැඩි සුළං, අධික වර්ෂාව මෙන්ම අයිස් සහිත වැසි (hail) ඇතිවීමේ දැඩි අවදානමක් පවතිනවා. පසුගිය කාලය පුරාවට පැවති වියළි කාලගුණය නිමා කරමින් මෙම තත්ත්වය මතු වී තිබෙනවා.
අඟහරුවාදා දිනයෙන් පසුව මෙම කුණාටු පද්ධතිය Queensland හි උතුරු දෙසට ගමන් කරනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
මේ අතර, Victoria සහ NSW ප්‍රදේශවලට ද අඟහරුවාදා දිනයේදී ශීත කාලගුණික තත්ත්වයක් (cold front) සමඟ සුළු වර්ෂාපතනයක් අපේක්ෂා කරනවා. මෑතකදී දැඩි වර්ෂාපතනයක් අත්විඳි Victoria හි ඇතැම් ස්ථානවලට මින් යම් ගංවතුර අවදානමක් ද මතු විය හැකියි.
කෙසේ වෙතත්, සතිය ආරම්භයේදී Western Australia ඇතුළු මධ්‍යම ප්‍රදේශවලට වියළි කාලගුණයක් අපේක්ෂා කළ ද, බ්‍රහස්පතින්දා වනවිට එහි ද වැසි සහිත කාලගුණික තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.



