Melbourne හි, Taylors Hill ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථ දෙකකට ගිනි තැබීමේ සිද්ධියකින් පසු, බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලැබූ යොවුන් වියේ පසුවන තරුණයෙකු රෝහල් ගත කර තිබෙනවා.
අලුයම 5.12 ට පමණ Woolwich Way ප්‍රදේශයේ මෙම ගිනි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ගින්නෙන් පසු අදාළ තරුණයා, පෙර දින Hoppers Crossing ප්‍රදේශයෙන් සොරකම් කරන ලද සුදු පැහැති Hyundai Tucson වර්ගයේ රථයකින් පලා යාමට උත්සාහ කර ඇති අතර, එය ආසන්නයේ තිබූ පඳුරුවල ගැටී අනතුරට ලක්ව තිබෙනවා. ඊට අමතරව මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවට ද පොලීසිය සැක පළ කරනවා.
මෙම ගිනි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලිවල (organised crime) ක්‍රියාවක් විය හැකි බවටයි විමර්ශකයින් සැක පළ කරන්නේ. රහස් පරීක්ෂක පරීක්ෂක Chris Murray පෙන්වා දෙන්නේ, සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිය අවදානම් සහගත අපරාධ සඳහා මෙලෙස තරුණයින්ව ඉලක්ක කර යොදා ගැනීම මේ වනවිට දැඩි ඛේදවාචකයක් බවට පත්ව ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් යම් තොරතුරක් හෝ CCTV සහ dashcam දර්ශන සතුවන කිසිවෙකු සිටී නම්, වහාම Crime Stoppers වෙත ඒ බව දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



