දුරකථනය මුළු රාත්‍රිය පුරා චාර්ජ් කිරීමට තැබීමෙන් එහි බැටරියට හානි සිදුවන බවට පැවති මතය වර්තමාන නවීන Smartphone භාවිතයේදී වෙනස් වී ඇති බව තාක්ෂණික වාර්තා පෙන්වා දෙනවා.

පැරණි Lithium-ion බැටරි 0% සිට 100% දක්වා නිතර චාර්ජ් කිරීමෙන් ඒවායේ කල්පැවැත්ම අඩුවුවද, Apple, Samsung සහ Google Pixel වැනි නවීන දුරකථනවල ඇති Smart Charging, Optimised සහ Adaptive Charging පහසුකම් මගින් රෑ කාලයේදී චාර්ජ් වන වේගය ස්වයංක්‍රීයව පාලනය කරනු ලබනවා. එමගින් ඔබ අවදිවන වේලාවට ආසන්න වන විට පමණක් බැටරිය 100% දක්වා පූර්ණ චාර්ජ් කිරීමට මෙම දුරකථන කටයුතු කරනවා.

එමෙන්ම, බැටරියේ කල්පැවැත්ම රැක ගැනීමට 80% ක සීමාවකට චාර්ජ් වන ලෙස සකස් කිරීමටද නවීන දුරකථනවල පහසුකම් පවතිනවා. කෙසේ වෙතත්, මෙහිදී වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ අධික උෂ්ණත්වයෙන් දුරකථනය ආරක්ෂා කරගැනීමටයි. විශේෂයෙන්ම රාත්‍රියේදී දුරකථනය චාර්ජ් කරන විට අධික උෂ්ණත්වයක් ඇති නොවන පරිදි නිසි වාතාශ්‍රයක් ලැබෙන ස්ථානයක තැබීම වැදගත් බවයි තාක්ෂණික විශේෂඥයන් පෙන්වා දෙන්නේ.