ඕස්ට්‍රේලියාවේ ළමා අපචාර නතර කිරීම සඳහා පවතින උනන්දුව පුවත් වාර්තා සහ මාධ්‍ය අවධානයට පමණක් සීමා වීම ප්‍රධාන ගැටලුවක් බව University of NSW හි මහාචාර්ය Michael Salter පෙන්වා දෙනවා. ළමා අපචාර පිළිබඳ පුවත් සමග ජනතාව තිගැස්මට ලක් වුවද, පුවත් මැකී යාමත් සමග එම විෂය කෙරෙහි දක්වන අවධානය සහ වෙන්කරන ප්‍රතිපාදන පහත වැටෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

අන්තර්ජාලය, සමාජ මාධ්‍ය සහ කෘතිම බුද්ධිය වැනි නවීන තාක්ෂණයේ දියුණුවත් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි මගින් සිදුකරන මාර්ගගත ළමා අපචාර සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මෙම තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කරගැනීමට නම් දෙමාපියන් තම දරුවන් සහ ඔවුන් ඇසුරු කරන පුද්ගලයින් පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බවත්, අපචාරයන්ගෙන් මිදීමට සහ රහස් නොතබා තමාට විශ්වාසවන්ත වැඩිහිටියෙකුට කරුණු පැවසීමට දරුවන්ව දැනුවත් කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරනවා.