ඕස්ට්‍රේලියානු ජනතාව ඉහළ ජීවන වියදමකට සහ ඉහළ පොලී අනුපාතවලට මුහුණ දෙමින් සිටින පසුබිමක, අගමැති Anthony Albanese ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පාර්ලිමේන්තු විරාමය අතරතුර විදෙස් සංචාර සඳහා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව, මහජන බදු මුදල්වලින් ක්‍රියාත්මක වන දේශගුණික සමුළුවක් සඳහා අගමැති Anthony Albanese සහ බලශක්ති අමාත්‍ය Chris Bowen, Fiji බලා පිටත්ව ගොස් ඇති අතර, භාණ්ඩාගාරික වන Jim Chalmers, ජපානය බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම විදෙස් සංචාරයන් සිදුවන්නේ, Reserve Bank විසින් සිය පොලී අනුපාත සියයට 4.6 දක්වා ඉහළ නැංවීම හේතුවෙන් නිවාස ණය වාරික ඉහළ ගොස්, ජනතාව දැඩි මූල්‍ය පීඩනයකට ලක්ව ඇති සමයකයි. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ මුළු ණය ප්‍රමාණය ද මේ වනවිට ඩොලර් ට්‍රිලියන 1කට ආසන්න මට්ටමක පවතිනවා.
ජපානයේදී ප්‍රධාන පෙළේ ආයෝජකයින් හමුවන Mr. Chalmers, AI තාක්ෂණය සහ පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස ඕස්ට්‍රේලියාව ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වනවා.
කෙසේ වෙතත්, රජයේ මැති ඇමතිවරුන්ගේ මෙම විදෙස් සංචාර සඳහා වැය වන වියදම් සම්බන්ධයෙන් මේ වනවිට දැඩි විවේචන එල්ල වී තිබෙනවා. විශේෂයෙන්ම, 2022 වසරේ සිට මේ දක්වා Mr. Bowen ගේ ගුවන් ගමන් සඳහා පමණක් රජය ඩොලර් 420,000 කට අධික මුදලක් වැය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මෙම තත්ත්වය හමුවේ, COP31 සමුළුව වෙනුවෙන් රජය දරන අතිවිශාල පිරිවැය පිළිබඳව මේ වනවිට දැඩි ප්‍රශ්න කිරීම් මතුව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.



