ගිනි අවියකට සමාන යමක් ළඟ තබා ගැනීම සහ පොලිස් භාරයේ සිටියදී අලාභහානි සිදුකිරීමේ චෝදනා මත 36 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු Hong Kong හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය බදාදා රාත්‍රියේ Yau Ma Tei ප්‍රදේශයේදී "ගිනි අවියකට සමාන යමක්" රැගෙන පුද්ගලයෙකු ගැවසෙන බවට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ Hong Kong පොලිසියේ ත්‍රස්ත මර්දන ඒකකය මගින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔහු ළඟ තිබී Air gun එකක් ලෙස සැකකෙරෙන භාණ්ඩයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පසුව ඔහුව Yau Ma Tei පොලිස් ස්ථානයේ රඳවා සිටියදී එහි බිත්තියකට සහ දුම් හඳුනාගැනීමේ යන්ත්‍රයකට හානි සිදුකිරීම නිසා අපරාධමය හානි සිදුකිරීමේ අමතර චෝදනාව ද එල්ල වී තිබෙනවා.

මෙම සිදුවීමට මුහුණ දුන් ඔස්ට්‍රේලියානු ජාතිකයාගේ පවුලේ සාමාජිකයින් වෙත තානාපති මට්ටමින් අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන බව ඔස්ට්‍රේලියානු Department of Foreign Affairs and Trade (DFAT) ආයතනය සඳහන් කරනවා.