පසුගිය සෙනසුරාදා අලුයම Melbourne නගරයට 100km ක් පමණ ගිනිකොන දෙසින් පිහිටි Arawata ප්‍රදේශයෙන් රිච්ටර් මාපක 4.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් වාර්තා වුණා.
Arawata, Shepparton, Ballarat සහ Warrnambool ඇතුළු Victoria ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට මෙම භූමිකම්පාවේ කම්පනය ප්‍රබලව දැනී තිබෙන අතර, ඕස්ට්‍රේලියානු භූවිද්‍යා ආයතනය වෙත පැය කිහිපයක් ඇතුළත වාර්තා 21,000කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ප්‍රධාන කම්පනයෙන් පසුව පසුකම්පන සිය ගණනක් වාර්තා වී ඇති බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.
ඕස්ට්‍රේලියාව Tectonic Plate මායිම්වලින් ඈතින් පිහිටියත්, Victoria හි Gippsland කලාපය තුළ වසර මිලියන 100කට වඩා පැරණි Geological Faults හෙවත් භූවිද්‍යාත්මක තල පිහිටා තිබීම මෙම නිතර සිදුවන භූමිකම්පාවලට ප්‍රධාන හේතුවයි.
Monash විශ්වවිද්‍යාලයේ භූමිකම්පා විද්‍යාඥ Dee Ninis සඳහන් කරන්නේ, මෙම පසුකම්පන ඉදිරි සති කිහිපය තුළද පැවතිය හැකි අතර කාලයත් සමග ඒවායේ ප්‍රබලත්වය අඩුවනු ඇති බවයි.



