Tasmania හි South ප්‍රදේශයේ පිහිටි වසර 90ක් පමණ පැරණි හිටපු මානසික සෞඛ්‍ය රෝහලක් ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වනවා.

වසර කිහිපයක සිට අතහැර දමා තිබූ New Norfolk හි පිහිටි මුල් Millbrook Rise ගොඩනැගිල්ල සඳුදා අලුයම් කාලයේදී මෙලෙස ගිනි ගෙන තිබුණා.

Hobart Road හි හටගත් මෙම ගින්න සම්බන්ධයෙන් තමන්ට Triple Zero (000) හදිසි ඇමතුම් රැසක් ලැබුණු බවයි Tasmania Fire Service හෙවත් TFS ආයතනය ප්‍රකාශ කරන්නේ. ඒ අනුව ප්‍රදේශයේ සහ ඒ අවට පිහිටි ගිනි නිවන ඒකක අදාළ ස්ථානයට යොමු කර ඇති අතර, Hobart සිට විශේෂ ගිනි නිවන උපකරණ ද එම ස්ථානයට යවා තිබෙනවා.

අලුයම 1:30 ට පමණ වාර්තා වූ මෙම ගින්න පැය කිහිපයක මෙහෙයුමකින් පසු සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට ගිනි නිවන භටයින් සමත් වී තිබෙනවා.

ප්‍රාදේශීය ඓතිහාසික සංවිධානයක් වන Willow Court Heritage Site Inc පෙන්වා දෙන පරිදි, Millbrook Rise Psychopathic Hospital විවෘත කර ඇත්තේ 1934 පෙබරවාරි මාසයේදීයි. යුද්ධයෙන් පසු නැවත පැමිණි පුද්ගලයින්ට, ඔවුන්ගේ පවුල්වලට මෙන්ම පසුව සාමාන්‍‍ය ජනතාවට සහන සැලසීම සඳහා මෙය මුලින්ම භාවිතා කර තිබෙනවා.

පසුව මෙය Royal Derwent Hospital හි කොටසක් බවට පත් වූ අතර, 2001 වසරේදී එම රෝහල වසා දමන තෙක්ම එය එලෙස ක්‍රියාත්මක වී තිබුණා.

කෙසේ වෙතත්, Tasmania's Health Department මගින් පාලනය වන Millbrook Rise Centre for Rehabilitation මධ්‍යස්ථානය, මෙලෙස ගින්නෙන් විනාශ වූ ගොඩනැගිල්ලට ආසන්නයේ පිහිටි වෙනත් ගොඩනැගිලිවල තවදුරටත් ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.